ස්ථාවර ශ්‍රී ලංකාවට සංචාරක බූම් එකක් - 2025 වාර්තාවත් බිඳ දමන්න ලංකාව සූදානම්
ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තය වේගවත් වර්ධනයක් අත්කරගෙන ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
ලෝක සංචාරක දිනය සැමරීම වෙනුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ පැවති වැඩසටහන් මාලාවේ අවසන් වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. එම වැඩසටහන බේරුවල Cinnamon Bey හෝටලයේදී පැවැත්වුණා.
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පසුගිය කෙටි කාලය තුළ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇති බවයි.
ලෝක ආර්ථික සංසදයේ 2026 සංචාරක හා සංචරණ සංවර්ධන දර්ශකයට අනුව, 2024 සිට 2026 දක්වා කාලය තුළ සංචාරක හා සංචරණ සංවර්ධනයේ වේගවත්ම ප්‍රගතියක් අත්කරගත් ලොව ප්‍රමුඛ රටවල් 10 අතරට ශ්‍රී ලංකාව ඇතුළත්ව ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.
එම ප්‍රගතියට රට තුළ ඇතිවී තිබෙන ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.
2025 වාර්තාවත් අභිබවා යන සංචාරක පැමිණීම්?
2025 වසර ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණි වසර බව සඳහන් කළ අමාත්‍ය විජිත හේරත් මහතා, මෙම වසරේදී එම වාර්තාවද අභිබවා යාමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව පැවසුවා.
ආර්ථික වර්ධනය, සංචාරක පැමිණීම් ඉහළ යාම, විදේශ ප්‍රේෂණ සහ අපනයන ආදායම් වර්ධනය සමඟ ශ්‍රී ලංකාව ශක්තිමත් ආර්ථික ගමනක නිරතව සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළා.
එමෙන්ම වත්මන් ලෝක දේශපාලන පරිසරය තුළ සියලු රටවල් සමඟ මිත්‍රශීලී රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යමින්, ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය සහ අපක්ෂපාතීත්වය ආරක්ෂා කර ගනිමින් ආර්ථික, දේශපාලන හා සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කරන බවද ඔහු පැවසුවා.
සංචාරක ක්ෂේත්‍රයට AI සහ ඩිජිටල් තාක්ෂණය
සංචාරක කර්මාන්තයේ ඉදිරි සංවර්ධනය සඳහා ඩිජිටල් තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය (AI) වැඩි වශයෙන් භාවිත කිරීමේ වැදගත්කමද අමාත්‍යවරයා අවධාරණය කළා.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආගන්තුක සත්කාරය තාක්ෂණය මගින් ප්‍රතිස්ථාපනය කළ නොහැකි බව පෙන්වා දුන් ඔහු, මෙරට ස්වභාවික සෞන්දර්යය, ඓතිහාසික හා ජාතික උරුමයන්, සංස්කෘතිය සහ ආගන්තුක සත්කාරය මෙරට ප්‍රධාන සංචාරක ආකර්ෂණයන් බව සඳහන් කළා.
කළුතර සංචාරක ව්‍යාපාරය පුළුල් කිරීමට අවධානය
කළුතර දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමේදී බේරුවල, දර්ගා නගරය සහ වෙරළ තීරයට පමණක් සීමා නොවී, දිස්ත්‍රික්කය තුළ පවතින අනෙකුත් සංචාරක ආකර්ෂණීය ස්ථාන හඳුනාගෙන ඒවා නිසි ලෙස අලෙවිකරණය හා ප්‍රවර්ධනය කළ යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
සංචාරක කර්මාන්තයේ අඛණ්ඩ සංවර්ධනය සඳහා රජය, පෞද්ගලික අංශය සහ ජනතාවගේ සහභාගිත්වය අත්‍යවශ්‍ය බවද අමාත්‍ය විජිත හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළා. මෙම අවස්ථාවට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා සහ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.