ශ්‍රී ලංකාව සයිබර් තර්ජනයකට මුහුණ දෙයිද? - ඉන්දියාවෙන් ආරක්ෂක සහාය දෙන්න සුදානම්
ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සහ ඉන්දීය රජයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අතර මෙම සාකච්ඡාව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙහිදී ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) සතු සයිබර් තර්ජන හඳුනාගැනීමේ සහ ඒවාට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව තවදුරටත් ඉහළ නැංවීම සම්බන්ධයෙන් ප්‍රධාන අවධානය යොමු වී තිබේ.
ඒ සඳහා ඉන්දීය CERT-In ආයතනය සතු මෙහෙයුම් අත්දැකීම් සහ විශේෂඥ දැනුම ශ්‍රී ලංකාවට ප්‍රයෝජනයට ගත හැකි ආකාරය පිළිබඳවද සාකච්ඡා කර ඇත.
එමෙන්ම සයිබර් තර්ජන විශ්ලේෂණය කිරීම, රාජ්‍ය ආයතන සහ මහජනතාව සඳහා සයිබර් ආරක්ෂණ පුහුණු වැඩසටහන් ශක්තිමත් කිරීම මෙන්ම කෘත්‍රිම බුද්ධිය පදනම් කරගත් තර්ජන ඇගයීමේ ක්‍රමවේද හඳුන්වාදීම පිළිබඳවද අවධානය යොමු වී තිබේ.
අන්තර්ජාල සේවා සපයන්නන්, රජය, විශ්වවිද්‍යාල සහ පෞද්ගලික අංශය අතර සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් කිරීම තුළින් සයිබර් ආරක්ෂණය සහ ඊට අදාළ ධාරිතා වර්ධනය ඉහළ නැංවීම පිළිබඳවද ඉන්දීය නියෝජිත පිරිස සිය අත්දැකීම් හුවමාරු කරගෙන ඇත.
දෙරට අතර ඩිජිටල් තාක්ෂණය සහ සයිබර් ආරක්ෂණය සම්බන්ධයෙන් පවතින සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම සඳහා ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී තිබේ.