අද පස්වරුවේ චීවරය ඉවත්කර ඥානසාර හිමිට ජම්පරය අන්දයි - බන්ධනාගාරයෙන් ප්‍රකාශයක්
බන්ධනාගාර ගතකරන ලද පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිරකරුවන් සඳහා නියම කරන ලද ජම්පරය අද (05) දින පස්වරුවේ ලබාදුන් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න මහතා සඳහන් කරයි.
ඔහු ඒ අනුව ප්‍රකාශ කළේ උන්වහන්සේගේ චීවරය ඉවත්කර අදාළ ඇඳුමින් සිටින බවයි.
එසේම උන්වහන්සේ සාමාන්‍ය සිරකරුවන් රඳවා සිටින වාට්ටුවක රඳවා ඇති බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා ඇත.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වැරදිකරු වීමෙන් පසු පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා ඇති සිරදඬුවමේ ඉතිරි කාල සීමාව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද නියම කර තිබුණා.
ඒ අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු නිකුත් කර තිබූ ඥානසාර හිමියන්ව බන්ධනාගාර නිලධාරීන් විසින් අද අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කර තිබීමෙන් පසුවයි.
එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වරයා වෙත නියම කළේ ඥානසාර හිමියන්ට පණවනු දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.