ඇවිලෙන ගින්නට පිදුරු දාන ට්‍රම්ප් නිසා තෙල් මිල තවත් ඉහළට
ගෝලීය තෙල් මිල සියයට 5කින් පමණ ඉහළ ගොස් තිබෙන බවට වාර්තා වේ. ඒ ඊශ්‍රායලය සහ ඉරානය අතර හමුදාමය ගැටුම් උත්සන්න වීම සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ටෙහෙරානයෙන් කොන්දේසි විරහිතව සහ වහාම යටත් වන ලෙස ඉල්ලීම් කිරීම නිසා බව සඳහන්.
බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අඟහරුවාදා වන විට සියයට 4.4කින් ඉහළ ගොස් ඩොලර් 76.45ක් බවට පත්ව තිබෙනවා.
එහෙත් එය ඊශ්‍රායලය ඉකුත් සතියේ ඉරානයට විරුද්ධව තම පළමු මිසයිල ප්‍රහාරය දියත් කළ දා පටන් සියයට 10කට වඩා වැඩි ප්‍රමාණයකින් වැඩි විය.
ABC පුවත් සේවය වාර්තා කරන්නේ මෙම නවතම මිල ඉහළ යාමට හේතුව Truth Social හි පළ කරන ලද ට්‍රම්ප්ගේ සටහන් මාලාවක් බවයි.
ට්‍රම්ප් විසින් අඳාළ සටහනේ ඉරාන උත්තරීතර නායක Ayatollah Ali Khamenei “පහසු ඉලක්කයක්” වශයෙන් හඳුන්වා ඇත.
එසේම එක්සත් ජනපදය සහ එහි මිත්‍ර පාක්ෂිකයන් ඉරාන ගුවන් කලාපය “සම්පූර්ණ හා පූර්ණ පාලනයකින්” සිටින බවට ද ප්‍රකාශ කර ඇති බව සඳහන්.
කෙසේ වෙතත් Saxo බැංකුවේ විශ්ලේෂක Ole Hansen අදහස් දක්වමින් පැවසුවේ “වෙළෙඳපොළ බොහෝ දුරට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන බාධා කිරීම් සම්බන්ධයෙන් කනස්සල්ලට පත්ව සිටින” බවයි.
එසේම ඔහු පෞද්ගලිකව මෙම අවදානම ඉතා අඩු බවට ද තක්සේරු කර තිබෙනවා.
ලෝකයේ තෙල් සැපයුමෙන් සියයට 20ක් පමණ ගලා යන තීරණාත්මක සමුද්‍ර මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධියේ උතුරු වෙරළ ඉරාන භූමියට අයත් බව වාර්තා වේ.
ඒ අනුව ටෙහෙරානය මෙම සමුද්‍ර සන්ධිය නැව් ගමනාගමනයට වසා දැමීම බැරෑරුම් ලෙස සලකා බලන බවට ඉරාන පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරී Esmail Kousari කියා ඇත.
ඊට අමතරව එම ප්‍රදේශයේ “හමුදා මෙහෙයුම් පුපුරා ගියහොත්” තෙල් මිල බැරලයකට ඩොලර් 200 සිට 300 දක්වා ඉහළ යා හැකි බවට ඉරාක විදේශ අමාත්‍ය Fuad Hussein අනතුරු අඟවා ඇත.
