මොඩියුල ගැන තවත් තිත්ත ඇත්තක් - පළමු වාරෙට අසභ්‍ය සබැඳි 41 එක්ක ගුරු පුහුණවකුත් - සුමංගල හිමි
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 වසර සිසුන් සඳහා හඳුන්වා දුන් ඉංග්‍රීසි විෂය මොඩියුලයක අසභ්‍ය අන්තර්ගතයන් සහිත වෙබ් අඩවියක ලිපිනයක් ඇතුළත් කිරීම හෙළිදරව් කළ පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් විසින් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
ඒ අනුව අඳාළ පැමිණිල්ල කිරීමෙන් පසු මෙය හුදෙක් අත්වැරදීමක් නොව, මෙරට දරුවන්ගේ අනාගතය විනාශ කිරීම සඳහා වූ සැලසුම් සහගත කුමන්ත්‍රණයක් බවට මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ අවධාරණය කර සිටියා.
එහිදී උන්වහන්සේ අනාවරණය කළේ 6 වසර ඉංග්‍රීසි විෂයට අදාළ දෙවන මොඩියුලයේ 'යාළුවන් හඳුනා ගැනීම' (Identifying Friends) යන මාතෘකාව යටතේ ලබා දී ඇති 'Body' යන සබැඳිය ඔස්සේ සෙවුම් කළ විට, සමලිංගික සේවනයට සහ අසම්මත ක්‍රියාකාරකම්වලට යොමු කරන අසභ්‍ය වෙබ් අඩවියකට ප්‍රවේශ වන බවත් පළමු වාරයට පමණක් සබැදි 41ක් එක් කර ඇති බවත් ය.
එමෙන්ම මෙම හෙළිදරව්වත් සමඟ අධ්‍යාපන අමාත්‍යාංශය අදාළ වෙබ් අඩවිය අවහිර කිරීමටත්, පොත ඉල්ලා අස්කර ගැනීමටත් කටයුතු කර තිබුණද ඒ වන විටත් විශාල හානියක් සිදුව ඇති බව උන්වහන්සේ සඳහන් කරයි.
මේ අතර නීතිමය පියවර සහ වගකීම පැහැර හැරීම යන මෙම සිදුවීම දණ්ඩ නීති සංග්‍රහයේ 286 අ සහ 288 අ වගන්ති යටතේ ළමා අපචාරවලට අදාළ වන අපරාධමය වරදක් බව ද සුමංගල හිමියෝ ප්‍රකාශ කර ඇත.
එමෙන්ම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සිට පහළට සිටින නිලධාරීන් සහ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු පිරිස මෙම මොඩියුල සැකසීම, සෝදුපත් බැලීම සහ අනුමත කිරීම සම්බන්ධයෙන් සෘජුව වගකිව යුතු බවත් උන්වහන්සේ පෙන්වා දී තිබෙනවා.
එබැවින් පොතේ මුල් පිටුවල නම් සඳහන් කර ඇති සියලුම නිලධාරීන්ගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කළ යුතු බව උන්වහන්සේ අවධාරණය කරයි.එබැවින් අමාත්‍යාංශය පොත ඉල්ලා අස්කර ගත් බව පැවසුවද, මේ වන විටත් දිවයින පුරා සිටින හය වසර ඉංග්‍රීසි ගුරුවරුන් මෙම මොඩියුලය ඉගැන්වීම සඳහා පුහුණු කර අවසන් බව උන්වහන්සේ අනාවරණය කර ඇත.
එසේම අදාළ මොඩියුලවල PDF පිටපත් දැනටමත් ගුරුවරුන් සහ උපකාරක පන්ති ගුරුවරුන් අතට පත්ව ඇති බැවින්, පොත ඉල්ලා අස්කර ගැනීමෙන් පමණක් මෙම විනාශය නතර කළ නොහැකි බවත් උන්වහන්සේ පවසයි.
තවද ජාතික ධනය විනාශ කිරීම සහ ඉල්ලීම් ලක්ෂ 5කට ආසන්න දරුවන් පිරිසක් වෙනුවෙන් මෙම පොත් මුද්‍රණය කිරීමට සහ ගුරුවරුන් පුහුණු කිරීමට රුපියල් කෝටි ගණනක මහජන මුදලක් වැය කර ඇති බවත්, මෙම අපරාධය සිදු කළ පුද්ගලයින්ගෙන් එම මුදල් අයකර ගත යුතු බවත් උන්වහන්සේ වැඩිදුරටත් දක්වයි.
ඒ අනුව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන්, අධ්‍යාපන අමාත්‍යවරියගේ සිට පහළට සිටින සියලුම වගකිවයුත්තන් සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වා දඬුවම් දෙන ලෙසත් කිසිදු පූර්ව නියමු ව්‍යාපෘතියකින් (Pilot Program) තොරව හදිසියේ ක්‍රියාත්මක කිරීමට යන මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වහාම වසරකින් කල් දමන ලෙසත් රජයෙන් ඉල්ලා සිටියි.
සුමංගල හිමියන් තවදුරටත් කියා සිටියේ මෙය රටේ අනාගත පරපුරේ සදාචාරය විනාශ කිරීමට දරන උත්සාහයක් බැවින්, නීතිමය ක්‍රියාමාර්ග මඟින් යුක්තිය ඉටු කර ගැනීමට ඉහළම අධිකරණය දක්වා වුවද යාමට තමන් සූදානම් බවයි.