මාලිමා අපි හොරු කියල ජනතාව විස්වාස කරන්නෑ..මහා භාණ්ඩාගාරය සාංඝික දේපළක් වගේ ආරක්ෂා කරනවා - සුරවීර[VIDEO]
ජාතික ජන බලවේගයේ කිසිදු මන්ත්‍රීවරයෙකු හෝ නිලධාරියෙකු වංචා දූෂණවලට සම්බන්ධ නොමැති බවත්, භාණ්ඩාගාරයට සහ රජයේ ආයතනවලට එල්ල වන විවිධ බලපෑම් පිටුපස මීට පෙර රට විනාශ කළ "නිල්-කොළ" දේශපාලන හැකර්වරුන් සිටිය හැකි බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව වර්තමාන රජයට එරෙහිව එල්ල වන චෝදනා හුදෙක් බලය අහිමි වීමේ වේදනාව මත පදනම් වූ ඒවා බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු අවධාරණය කර ඇත.
එසේම රජය කෙරෙහි ජනතාව තබා ඇති විශ්වාසය පිළිබඳව අදහස් දක්වමින් සුරවීර මහතා පවසා ඇත්තේ ජනතාව කිසිසේත්ම මාලිමාවේ නියෝජිතයන් හොරුන් හෝ වංචාකාරයන් ලෙස පිළි නොගන්නා බවයි.
"ගේම් කාරයෝ කලබල වුණාට අපි කලබල වෙන්නේ නැහැ. මහ බැංකුවට, අමාත්‍යාංශවලට සහ පළාත් පාලන ආයතනවලට විද්දේ ඒගොල්ලෝමයි. මුළු රටක් හැකර් කරපු අය තමයි දැන් අපිට චෝදනා කරන්නේ...ජනතාව අපව හොරු ලෙස පිළිගන්නේ නැහැ. අදටත් ජනතාව අතර අපට තියෙන විවේචනය තමයි පරණ හොරු ටික ඉක්මනින් අල්ලලා හිරේ දාන්නේ නැහැ කියන එක. ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සාක්ෂි එක්රැස් කරමින් නිසි යාන්ත්‍රණයක් හරහා කටයුතු කිරීමට කාලය අවශ්‍යයි,"
එමෙන්ම මහජන මුදල් සහ මහා භාණ්ඩාගාරය "සාංඝික දේපළක්" ලෙස ආරක්ෂා කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති අතර, එම ප්‍රතිපත්තිය අකුරටම ක්‍රියාත්මක කරන බව මන්ත්‍රීවරයා මෙහිදී සිහිපත් කර ඇත.
තවද දේවානන්ද සුරවීර මහතා කියා ඇත්තේ යම් මූල්‍ය ගනුදෙනුවක අක්‍රමිකතාවක් සිදුව ඇත්නම් ඒ පිළිබඳව ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත්, අහිමි වූ මුදල් යළි ලබා ගැනීමට එම පරීක්ෂණ රුකුලක් වනු ඇති බවත් ය.
එමෙන්ම පැරණි දූෂිත දේශපාලන සංස්කෘතියේ පිරිස් විවිධ බාධක පැමිණවීමට උත්සාහ කළද, ඒ සියලු අභියෝග ජය ගනිමින් 2025 වසර රට නැවත නඟා සිටුවන තීරණාත්මක වසරක් බවට පත් කරන බවට ද ඔහු එහිදී සහතික වී ඇත.
අඳාළ වීඩියෝව පහතින් උපුටා දක්වා ඇත,