මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාවන් ගැන තීරණ රැසක්

motor traffic
By Sithumi Oct 10, 2021 12:00 PM GMT
Sithumi

Sithumi

Report

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් සිදුකරනු ලබන එක්දින සේවාවන් තවදුරටත් ව්‍යාප්ත කරන ලෙසට ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය නිලධාරීන් ට උපදෙස් දී තිබේ. ඒ තුළින් එක් දිනක් තුළදී වාහන ලියාපදිංචි කිරීම්, පැවරීම්, රියදුරු බලපත්‍ර නිකුත් කිරීම් වැඩි සංඛ්‍යාවක් නිකුත් කළ යුතු බව ද අමාත්‍යවරිය සඳහන් කළාය.

මේ වන විට රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවාව ක්‍රියාත්මක වන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර, හම්බන්තොට හා අනුරාධපුර යන කාර්යාලවල පමණී. එමෙන්ම වාහන ලියාපදිංචි කිරීමේ එක්දින සේවාව ක්‍රියාත්මක වන්නේ නාරාහේන්පිට, ගම්පහ, අනුරාධපුර, හම්බන්තොට, කුරුණෑගල හා යාපනය යන කාර්යාලවලය.

මාර්ග ගත ක්‍රමය ඔස්සේ සේවාවන් සැපයෙන්නේ වේරහැර, හම්බන්තොට, අනුරාධපුර, කළුතර, ගම්පහ, මහනුවර, කුරුණෑගල හා මොනරාගල යන කාර්යාලවල පමණක් සිදුකෙරේ. එම සේවාවන් පුළුල් කරමින් දිවයින පුරා දිස්ත්‍රික්ක 25 තුළම පිහිටුවා ඇති ශාඛා කාර්යාල තුළින් ඉහත සේවාවන් ලබාගැනීමට ජනතාවට පහසුකම් සපයා දෙන ලෙසටත් අමාත්‍යවරිය උපදෙස් ලබාදී තිබේ.

නව තාක්ෂණය ඒ සඳහා යොදා ගත යුතු බව ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ ප්‍රගති සමාලෝචනයට එක්වෙමින් අමාත්‍යවරිය සඳහන් කර ඇත.

එමෙන්ම ඊ මොටරින් ක්‍රමය ක්‍රියාවට නැංවීම, අංක තහඩු බෙදාහැරීම සඳහා කුරියර් ක්‍රමවේදය හඳුන්වාදීම, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හා ප්‍රවාහන වෛද්‍ය ආයතනය අතර සේවා ඒකාබද්ධ කිරීම වැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ද අමාත්‍යවරිය උපදෙස් දී තිබේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් දෛනිකව රියදුරු බලපත්‍ර 2,000ක්, වාහන පැවරීම් බලපත්‍ර 1,500ක්, වාහන ලියාපදිංචි කිරීම් 1,200ක් ඇතුළු සේවා රැසක් සිදුකරනු ලබයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now