ක්‍රියාත්මක කරන ගමන් අත්හදා බැලීම් කරන එක භයානකයි අසාර්ථක වුණොත් ලොකුම හානිය වෙන්නේ දරුවන්ට - ස්ටාලින්
ලංකා ගුරු සංගමය මඟින් ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් සිටින අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව කිසිම ලියවිල්ලක් මෙතෙක් ඉදිරිපත් කර නොමැති බවත් එළඹෙන වසරේදීද ඉදිරිපත් කරන එකක් නැති බවත් පවසයි.
ඒ අනුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එහි ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා මේ බව සඳහන් කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,
"මේ ඉදිරිපත් වෙලා තියෙන්නේ මේ ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් නෙමෙයි.2019 අවුරුද්දේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය උපාලි සේදර ගෙන ආ යෝජනාවයි මේ අය ගෙඩිය පිටින් ගේන්නේ. මේ ආණ්ඩුව දැන් ක්‍රියාත්මක කරමින් ඉන්නේ ජාතික ජන බලවේගයේ අධ්‍යාපනය ප්‍රතිපත්තිවලට පටහැනි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක්. ඒ වගේම මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් කිසිම ලියැවිල්ලක් ලබන අවුරුද්දේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන තුරුත් ඉදිරිපත් කරන එකක් නැහැ. තියෙන්නේ හුදු ප්‍රසන්ටේෂන් එකක් විතරයි. පළාත් නමයට ගිහින් ප්‍රසන්ටේෂන් එක ඉදිරිපත් කරන එකයි අධ්‍යාපන අමාත්‍යවරිය කළේ. නමුත් කිසිම සාකච්ඡාවක් තිබුණේ නැහැ. සාකච්ඡාවක් නොතියා ප්‍රසන්ටේෂන් එකක් විතරක් ඉදිරිපත් කරන එකේ තේරුම මොකක්ද? මේ රටේ යම් ප්‍රතිසංස්කරණයක් කරනවා නම්, විශේෂයෙන්ම අධ්‍යාපනය වැනි ක්ෂේත්‍රයකට ප්‍රතිසංස්කරණයක් ගෙන එනවා නම් මුලින්ම ඒ පිළිබඳව ජනතාවත් සමඟ සාකච්ඡා කළ යුතුයි. එවැනි සාකච්ඡාවක් අපි දැක්කේ නැහැ. ප්‍රතිසංස්කරණයක් සඳහා නියාමන ව්‍යාපෘතියක් අවශ්‍යයි. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා එවැනි නියාමන වැඩසටහනකුත් නෑ. 1997 ප්‍රාථමික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමේදී මුලින්ම ගම්පහ දිස්ත්‍රික්කයේ නියාමන ව්‍යාපෘතියක් කළා. ඒ නියාමන ව්‍යාපෘතියේ හොඳ නරක බලලා තමයි රටේම ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළේ. ඒ වගේ නියාමනයක් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල වෙලා තියෙනවද? මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ මොඩියුල යනුවෙන් අලුත් සංකල්පයකුත් හඳුන්වලා දීලා. මොඩියුල ක්‍රියාවලිය තුළින් අධ්‍යාපනයට මොකද වෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් අත්හදා බැලීමක් නෑ. ක්‍රියාත්මක කරන ගමන් අත්හදා බැලීම් කිරීමට යාම භයානකයි. බැරිවෙලා හරි මේ ක්‍රමවේදය අසාර්ථක වුණොත් එයින් ලොකුම හානිය වෙන්නේ ඒ කාල සීමාවේ ඉන්න දරුවන්ට නේ." යනුවෙන්.