පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප වැඩිකිරීම පිළිබදව රජයෙන් විශේෂ ප්‍රකාශයක්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් කිසිදු අයුරකින් ඉහළ දැමීමට රජය පියවර ගෙන නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.
අද (11) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
දිට්වා ආපදාවෙන් විනාශ වූ පූජනීය ස්ථාන 144කට රුපියල් මිලියන 232ක හදිසි ප්‍රතිපාදන - කැබිනට් මණ්ඩලයෙන් කොළ එළිය
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට ලබාදෙන ඉන්ධන දීමනාව ගණනය කිරීමේ පදනම මුල් කරගනිමින්, ඇතැම් පාර්ශ්ව මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කර ඇති බවට වැරදි මතයක් සමාජගත කිරීමට උත්සාහ කරන බවයි.
මන්ත්‍රීවරුන්ට හෝ රාජ්‍ය නිලධාරීන්ට ලබාදෙන ඉන්ධන ලීටර් ප්‍රමාණය සඳහා දීමනා ගණනය කෙරෙන්නේ වෙළෙඳපොළේ පවතින තෙල් මිලට සාපේක්ෂව බව පැහැදිලි කළ අමාත්‍යවරයා, 2026 මාර්තු මාසයේ සිට ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ අදාළ ගණනය කිරීම් සිදු නොකර මාර්තු 1 වනදා පැවැති මිල පදනම් කරගනිමින් එම කාලසීමාව තුළ ගෙවීම් සීමා කළ බව පවසන ලදී.
එම තාවකාලික චක්‍රලේඛය ජූලි 01 වනදායින් අවසන් වූ අතර, ජූලි 01 වනදා සිට යළිත් වෙළෙඳපොළේ පවතින යථාර්ථවාදී තෙල් මිලට සාපේක්ෂව ඉන්ධන දීමනාව ගණනය කිරීම හේතුවෙන් යම් මුදලක වෙනසක් පෙන්නුම් කරන බවත්, එය කිසිසේත්ම මන්ත්‍රී වැටුප් වැඩිවීමක් නොවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.