හිටපු ජනාධිපති සහ ඔහුගේ බාල සහෝදරයාට මරණ දඩුවම
මානව වර්ගයාට එරෙහි අපරාධ සහ බරපතළ යුද අපරාධ සිදුකිරීමේ චෝදනාවලට වරදකරුවන් කරමින් සිරියාවේ හිටපු ජනාධිපති බෂාර් අල් අසාද් සහ ඔහුගේ බාල සහෝදරයාට මරණ දඬුවම නියම කිරීමට සිරියානු අධිකරණයක් තීන්දු කර තිබේ.
අදාළ චෝදනාවලට ලක්වූ අසාද් සහ ඔහුගේ සහෝදරයා අධිකරණය හමුවේ පෙනී නොසිටි පසුබිමක නඩුව විභාගයට ගැනීමෙන් අනතුරුව අධිකරණය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.
ලක්ෂ පහකට ආසන්න අහිංසක වැසියන් පිරිසකට ජීවිත අහිමි කරමින් වසර 14 ක් පුරා පැවැති දරුණු සිරියානු සිවිල් යුද්ධයේදී සිදුවූ දරුණු යුද අපරාධ, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ මානව වර්ගයාට එරෙහි අපරාධ සම්බන්ධයෙන් මොවුන්ට මෙම මරණීය දණ්ඩනය හිමිවිය.
මීට අමතරව, 2011 වසරේදී දාරා ප්‍රදේශයේ පැවැති විරෝධතා හමුදා බලය යොදවා දරුණු ලෙස මර්දනය කිරීමට නායකත්වය දුන් අසාද්ගේ ඥාති සොහොයුරෙකු වන ආටෙෆ් නජීබ්ට ද අධිකරණය මඟින් මරණ දඬුවම නියම කරන ලදී.
හිටපු ජනාධිපති බෂාර් අල් අසාද් සහ ඔහුගේ සහෝදරයා මේ වන විට රුසියාවට පලාගොස් සැඟව සිටින අතර, ආරක්ෂක අංශ භාරයට පත් වූ ආටෙෆ් නජීබ් බන්ධනාගාර ඇඳුමින් සැරසී අධිකරණ කූඩුවේ සිටියදී මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.