බන්ධනාගාරවල ගැටුම් වලට හේතුව සොයාගනී - අමාත්‍ය නලින්ද ජයතිස්ස සියල්ල හෙළි කරයි
අද (11) දින කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසුවේ බන්ධනාගාරවල ගැටුම් ඇතිවීමට හේතු කිහිපයක් හඳුනාගෙන ඇති බවත් ඒ අනුව ඊට අවශ්‍ය පිළියම් යොදමින් පවතින බවත්ය.
මේ වන විට අදාළ ගැටුම් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද විමර්ශන ආරම්භ කර ඇති බවත් ඒ අනුව මීගමුව බන්ධනාගාරයේ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විටත් රැඳවියන් සහ නිලධාරීන් ඇතුළු 1,500කට අධික පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් ඔහු පවසයි.
එමෙන්ම එහිදී සිදුවූ ඝාතන සම්බන්ධයෙන් 61 දෙනෙකු මේ වන විටත් චූදිතයින් ලෙස නම් කර ඇති බවත් ඔහු පවසයි. වැඩිදුරටත් ඔහු පැවසුවේ ගැටුමට සම්බන්ධව එක් අයෙකු ඊයේ (10) දිනයේදීද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් මෙම සිදුවීම සම්බන්ධව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවත්ය.
තවද මහර බන්ධනාගාරයේ සිදුවීම සම්බන්ධයෙන් 925කගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පැවසූ අමාත්‍යවරයා කුරුවිට බන්ධනාගාරයේ සිදුවීම සම්බන්ධවද මේ වන විටත් ප්‍රකාශ සටහන් කරගෙන යන බවද පෙන්වා දුන්නේය.
ඒ අනුව බන්ධනාගාර ගැටුම්වලට සම්බන්ධව පුද්ගලයින් හඳුනා ගනිමින් පවතින බව පැවසූ අමාත්‍යවරයා මෙම සිදුවීම් සම්බන්ධව අන්තර් සම්බන්ධයක් මෙන්ම බාහිර පාර්ශ්වයක් සම්බන්ධද යන්නේද සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ ආරම්භ කර ඇතැයිද වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.