95% න් ප්‍රතිදේහ නිපදවන එන්නතේ අලුත්ම තතු (VIDEO)
සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සති දෙකක් ගිය පසුව පමණක් පුද්ගලයෙකුගේ සිරුරේ 95%ක ප්‍රතිශතයක් කොවිඩ් වෛරසයට එරෙහිව සාර්ථක ප්‍රතිදේහ නිපදවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසන්නීය.
ඇය වැඩිදුරටත් පවසා සිටියේ, එන්නතක් ලබාගත් පමණින් පුද්ගලයෙකුගේ සිරුර තුළ ප්‍රතිදේහ නිර්මාණය නොවන බවය.
ලොකය පුරා භාවිත කරන කොවිඩ් එන්නත් සියල්ලම සාර්ථක බවත් එයින් මරණයට පත්වන ප්‍රවණතාවය හා දරුණු රෝග ලක්ෂණ ඇති වීම ඉතාමත් සුක්ෂම ලෙස අඩුකරන බව ද ඇය සඳහන් කළාය.
එසේ වුවත් ඕනෑම කොවිඩ් එන්නතක් ලබාගත් අයෙක් කොවිඩ් ආසාදිතයෙක් විය හැකි බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය.
"ලංකාවේ කරපු පරීක්ෂණවලින් අපිට පේනවා එන්නත දීපු අයගෙන් සියයට 95ට ප්‍රතිදේහ හැදුනා. ඒ ප්‍රතිදේහ වැඩි ප්‍රවණතාවයකින් හැදුණේ තරුණ අයට. ඒ කියන්නේ වයස අවුරුදු 20 - 40 අතර අයට සියයට 98ක් පමණ ප්‍රතිදේහ හැදුනා. අවුරුදු 60ට වැඩි අයට සියයට 93ක තමයි ප්‍රතිදේහ හැදුනේ. අනිත් එන්නත් එක්කත් දකින්න ලැබෙනවා වයසක අයට එහෙම ප්‍රතිදේහ හැදෙනවා අඩුයි තරුණ අයට වඩා. ඒක ස්වභාවික දෙයක්. දත්ත තිබුණේ නෑ එක එක ප්‍රභේදවලට කොහොම ද මේ එන්නත වැඩකරන්නේ කියන එක. ඩෙල්ටා ප්‍රභේදය තමයි ලෝකයේ වැඩිපුරම තියෙන ප්‍රභේදය. දැන් රටවල් එකසිය ගණනක තියෙනවා. ලංකාවෙත් ඩෙල්ටා ප්‍රභේදය වැඩි වී ගෙන යන නිසා ඩෙල්ටා, බීටා, ඇල්ෆා ඔක්කෝම ප්‍රභේදවලට මේ එන්නතේ ප්‍රතිදේහ කොහොමද කියලා බැලුවා. සංසන්දනය කරන්න මිම්මක් ඕනේ නිසා ස්වභාවිකව කොවිඩ් ආසාදනය වී සුවය ලැබු අයගේ ප්‍රතිදේහ සංසන්දනය කරලා බලනවා එන්නතේ ප්‍රතිදේහ කොහොමද කියලා. අපිට හොයා ගන්න පුළුවන් වුණා සයිනොෆාම් එන්නතෙන් එන ප්‍රතිදේහ ප්‍රමාණය ස්වභාවිකව කොවිඩ් හැදිලා එන ප්‍රමාණයට සමානයි කියලා ඩෙල්ටා හා බීටා ප්‍රභේදවල."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |