මීට පස්සේ ගෙවල් කුලියට ලබා දෙන පුද්ගලයින්ට මොකද වෙන්නේ? අධිකරණ ඇමතිගෙන් ප්‍රකාශයක්
අද ( 03) දින පාර්ලිමේන්තුවේදී ගෙවල් කුලී පනත ඉවත් කිරිමට වූ පනත් කෙටුම්පත හා පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා විසින් අදහස් පළ කර ඇත.
ඒ අනුව ඔහු සඳහන් කළේ දැනට පවතින කුලී පනත අහෝසි කිරීම සහ ඒ වෙනුවට හඳුන්වා දීමට යෝජිත "පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත" මඟින් නිවාස කුලියට දෙන පුද්ගලයන්ට හෝ ව්‍යාපාරිකයන්ට කිසිදු අගතියක් සිදු නොවන බවයි.
එමෙන්ම අමාත්‍යවරයා තවදුරටත් පවසා සිටියේ,
''මෙම පනත් කෙටුම්පත් මඟින් ගෙවල් කුලියට ලබා දෙන පුද්ගලයින්ට හෝ කර්මාන්තයක් ලෙස ගෙවල් කුලියට ලබා දෙන අයට හානියක් වන්නේ නැහැ. පනත් කෙටුම්පත් දෙක විශේෂඥ කමිටුවක් විසින් සකස් කර විධිමත් කාර්යය පටිපාටිය අනුගමනය කිරීමෙන් අනතුරුව 2025.09.18 වන දින ගැසට් පත්‍රයේ පළ කිරීමට හා ඉන් පසු එම පනත් කෙටුම්පත් දෙක 2025.11.04 දින සිට 2026.01.15 දින දක්වා කාලය තුළ මහජන අදහස්, විමසීම සඳහා අමාත්‍යාංශ නිල වෙබ් අඩවියේ හා සිංහල දෙමළ හා ඉංග්‍රිසී පුවත්පත්වල භාෂාත්‍රයෙන්ම පළ කිරීමට කටයුතු කළා. අදාළ කාලය තුළ ලැබුණේ යෝජනා 2 ක් පමණයි. මෙය හොර රහසේ ගෙන එන ලද පනතක් නොවෙයි. අපි මේ රටේ ජනතාවට හොඳම පනත ගේනවා. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලු දෙනාගෙන් සාධනීය යෝජනා ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා. 2026.01.29 දින එවන ලද ලිපියක් මඟින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය මේ සම්බන්ධව කරුණු දැක්වීම සඳහා අවශ්‍ය බවට අමාත්‍යාංශය දැනුවත් කරනු ලැබුවා. ඉල්ලීම් සියල්ල සලකා බැලීමෙන් අනතුරුව, මෙම පනත් කෙටුම්පත් පිළිබඳව තවදුරටත් මහජන අදහස් විමසීම සඳහා කාලය 2026.02.03 සිට මාසයක කාලයක් සඳහා දීර්ඝ කිරීමට තීරණය කරනු ලැබුවා. එම අදහස් ලිඛිතව ලැබීමෙන් පසු එකී නිර්දේශ/ අදහස්/ යෝජනා සලකා බැලීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (නීති)ගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මඟින් කටයුතු කරනු ලබනවා. අදහස් දැක්වීමට අපේක්ෂිත පාර්ශව සිය අදහස් ලිඛිතව අමාත්‍යාංශය වෙත කඩිනමින් යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා.''