මේ දේවල් වගා කරන ගොවීන්ට සුබ ආරංචියක් - රජයෙන් විශේෂ රක්ෂණාවරණයක්
අල සහ එළවළු වගාවන් වෙනුවෙන් නව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පියවර ගෙන තිබේ.
ඒ යටතේ බතල, මඤ්ඤොක්කා, කිරි අල, බීට්, ගෝවා, කැරට්, ලීක්ස්, බටු, බණ්ඩක්කා, බෝංචි, මාළු මිරිස්, තක්කාලි, කරවිල සහ වට්ටක්කා ඇතුළු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් නිර්දේශිත බෝග වර්ග රැසක් මෙම නව රක්ෂණ ආවරණය සඳහා ඇතුළත් කර ඇති බව අදාළ මණ්ඩලය සඳහන් කරයි.
මෙහිදී මූලික රක්ෂිත මුදලින් 7%ක සුළු වාරිකයක් පමණක් ගෙවා අදාළ රක්ෂණාවරණය ලබා ගැනීමට ගොවීන්ට හැකියාව පවතී.
එමඟින් ස්වාභාවික ආපදා, පාලනය කළ නොහැකි ශාක රෝග, කෘමි හානි මෙන්ම වන අලි හානි නිසා සිදුවන වගා හානි සඳහා ද වන්දි මුදල් ලබාගැනීමට වගාකරුවන්ට අවස්ථාව හිමිවේ.
වගාකරුවන් මුහුණදෙන අවදානම නිසි ලෙස කළමනාකරණය කරමින් ගොවි ජනතාව දිගින් දිගටම වගා කටයුතු තුළ රඳවා තබා ගැනීම මෙම රක්ෂණ යෝජනා ක්‍රමයේ ප්‍රධාන අරමුණ බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වැඩිදුරටත් පෙන්වා දෙයි.