කන්ටේනර් 323යේ වාර්තාව ගැන අලුත් ආන්දෝලනයක් - විපක්ෂයට නොදන්වා මුද්‍රණයට යවලා
භෞතික පරීක්ෂාවකින් තොරව කන්ටේනර් 323ක් කොළඹ වරායෙන් පිටකිරීම සම්බන්ධයෙන් පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව මුද්‍රණය සඳහා යොමුකර ඇති බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කළද, ඒ පිළිබඳව කාරක සභාව නියෝජනය කරන විපක්ෂයේ මන්ත්‍රීවරුන් දැනුවත් කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.
අවසන් වාර්තාව මුද්‍රණය කිරීමට පෙර එය විපක්ෂයේ නියෝජිතයන් වෙත ලබාදී ඔවුන්ගේ අදහස් ද ඊට ඇතුළත් කිරීමට අමාත්‍යවරයා එකඟතාව පළ කර තිබූ බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.
එහෙත් මේ වනතෙක් අදාළ වාර්තාව විපක්ෂයේ නියෝජිතයන් වෙත ලබාදී නොමැති බව ද මුජිබර් රහුමාන් මහතා පෙන්වා දෙයි.
මේ අතර, කන්ටේනර් 323ක් වරායෙන් පිටකිරීම සම්බන්ධයෙන් නිලධාරී කණ්ඩායමක් විසින් සකස් කරන ලද වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්, ඒ පිළිබඳව වැඩිදුර විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා සිටියේ තමන් බව ද මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරයි.