පාසල් වියේදීම අහස ජයගත් සුන්දර තරුණියගේ ජීවිත ගමන අවුරුදු 20දී නිමවෙයි - අවසන් මොහොතේ “Mayday, Mayday” කියමින් උදව් ඉල්ලලා
ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේදී සිදුවූ පෞද්ගලික ජෙට් යානා අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ 20 හැවිරිදි සහායක නියමුවරියක වන නතාලියා ගාඩෙල්හා ෆිල්ගෙයිරාස් (Nathalia Gadelha Filgueiras) පාසල් අධ්‍යාපනය ලබන සමයේදීම ගුවන් නියමු බලපත්‍රය ලබාගෙන තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
2026 වසරේ නොවැම්බර් මස මුල් සතියේදී ටෙක්සාස් ප්‍රාන්තයේ ඔස්ටින් නගරයේ සිට බහමාස් දූපත් වෙත ගමන් කරමින් තිබූ Learjet 60 වර්ගයේ පෞද්ගලික ජෙට් යානය දකුණු ෆ්ලොරිඩාවේදී අනතුරට ලක්ව ගිනිගෙන විනාශ වී තිබේ.
අනතුර සිදුවීමට පෙර ගුවන් ගමනාගමන පාලක මධ්‍යස්ථානය සමඟ පැවැති ගුවන් විදුලි සන්නිවේදනයේදී නතාලියා උදව් ඉල්ලා සිටින ආකාරයද පටිගත වී තිබේ.
යානයේ අයිස් තැන්පත් වෙමින් පවතින බවත්, පිටත උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 47ක් පමණ වන බවත් ඇය එහිදී දැනුම් දී ඇත.
එමෙන්ම යානය දැඩි කැළඹීමකට ලක්වීම හේතුවෙන් අඩි 700ක පමණ උස වෙනසක් සිදුවූ බවද ඇය සඳහන් කර තිබේ. ඉන් අනතුරුව “Mayday, Mayday” යනුවෙන් හදිසි ආපදා සංඥාව නිකුත් කරමින් යානය විනාඩියකට අඩි 10,000ක වේගයෙන් පහළට ඇද වැටෙන බව ඇය දැනුම් දී ඇත.
පසුව එම වේගය විනාඩියකට අඩි 20,000ක් දක්වා ඉහළ ගොස් යානය කඩා වැටීමට ආසන්න බවද ඇය පවසා තිබේ. ADS-B Exchange ගුවන් ගමන් දත්තවලට අනුව අනතුරට පෙර මිනිත්තුවක් ඇතුළත යානය අඩි 27,000ක පමණ උසකින් පහළට ඇද වැටී ඇත.
පාසල් වියේදීම ගුවන් නියමු බලපත්‍රය නතාලියා 2023 වසරේදී 17 හැවිරිදි පාසල් සිසුවියකව සිටියදී පෞද්ගලික ගුවන් නියමු බලපත්‍රය ලබාගෙන තිබේ.
ඇය ගුවන් නියමු පුහුණුව ආරම්භ කර ඇත්තේ 2020 වසරේදී වන අතර, ඇගේ පියාගෙන්ද ඒ සඳහා පුහුණුව ලබාගෙන ඇත. ඇමෙරිකාවේ වෙස්ට් බොකා රැටන් ප්‍රජා උසස් පාසලේ විශේෂ ගුවන් සේවා අධ්‍යාපන වැඩසටහනක් යටතේ ඇයට එම අවස්ථාව හිමිව තිබේ.
එම වැඩසටහන සඳහා පාම් බීච් ප්‍රාන්ත පාසල් දිස්ත්‍රික්කය මූල්‍ය දායකත්වය ලබාදී තිබූ බවද වාර්තා වේ.
ඇගේ මව වන කැමිලා ගාඩෙල්හා කෝර්ටෙලෙටි පවසා ඇත්තේ නතාලියා වාණිජ ගුවන් නියමුවරියක ලෙස මාස නවයක පමණ කාලයක් සේවය කර තිබූ බවයි.
කෙසේ වෙතත්, ඇය සතුව තිබූ ගුවන් නියමු බලපත්‍රය අනුව අදාළ ජෙට් යානය පියාසර කිරීමේ සුදුසුකම තිබුණද, එම ගුවන් ගමනේ ප්‍රධාන නියමුවරිය ලෙස කටයුතු කිරීමට අවශ්‍ය බලය ඇයට නොතිබූ බව සඳහන් වේ.
අනතුරින් මියගිය අනෙකුත් පිරිස මෙම අනතුරින් පුද්ගලයන් නවදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඒ අතර ව්‍යාපාරිකයකු වන ඇඩම් රොබින්සන්, ඔහුගේ බිරිඳ හෙලන් ෂාප් සහ ඔවුන්ගේ සිව් හැවිරිදි එමා සහ දෙහැවිරිදි චාලි දරුවන් දෙදෙනාද සිටිති.
එම පවුලේ දරුවන් රැකබලා ගැනීමට සහාය වූ අනීටා මරියා සෙටිනා ද අනතුරින් මියගොස් තිබේ. රේචල් රීඩ් සහ චාර්මි ෆෙයාර් යන දෙදෙනාද මියගිය පිරිස අතරට අයත් බව වාර්තා වේ.
අනතුරින් මියගිය අනෙක් ගුවන් නියමුවරයාගේ අනන්‍යතාව එම අවස්ථාවේදී ප්‍රකාශයට පත් කර නොතිබිණි.