රෑට නියපොතු කපනවද? අදෘශ්‍යමාන අනතුරක්
අතීතයේ ඉඳලම විවිධ ගුප්ත කතා, මිථ්‍යා විශ්වාස, ජ්‍යෝතිෂමය සහ ආධ්‍යාත්මික රහස් අපිට සමාජයෙන් අහන්න ලැබෙනවනේ.
අද මේ ලිපිය එවැනි කතා ගැන කැමැත්තක් දක්වන පාඨක ඔබ වෙනුවෙන්.
ඉතින් මේ කියන්න යන්නේ ඔබ නොදැනුවත්වම ඔබේ ජීවිතයට ආරාධනා කරමින් සිටින අදෘශ්‍යමාන අනතුරක් ගැනයි.
ගුප්ත විද්‍යාවට අනුව නියපොතු කියන්නේ ඔබේ ශරීරයේ කොටසක්. මේ නියපොතුවල ඔබේ DNA අඩංගු වෙනවා. සමාජයේ විශ්වාස කරන මතයක් තමා රාත්‍රී කාලයේ නියපොතු කපා පිටතට දැමීමෙන් අශුද්ධ බලවේගයන්ට ඔබේ ජීවිතයට ඇතුළු වීමට මඟ පෑදෙන බව.
විශේෂයෙන්ම හේල යක් විද්‍යාවට අනුව, රාත්‍රියේදී පිටවන රුධිර ගන්ධයට රීරි යකා වැනි ලේ පිපාසිත අමනුෂ්‍ය කොටස් ආකර්ෂණය වෙන බව කියනවා. ඒ අනුව කුඩා තුවාලයකින් පිටවන ලේ බිඳක් පවා ඔබේ නිවසට අඳුරු බලවේග කැඳවීමට සමත් වන අතර, එමඟින් නපුරු සිහින, නින්ද නොයාම සහ මානසික පීඩනය ඇති වෙන්න පුළුවන් කියලත් මතයක් තියෙනවා.

ඒවගේම තමයි ජ්‍යෝතිෂයට අනුව නියපොතු, කෙස් සහ දත් පාලනය කරන්නේ සෙනසුරු (ශනි) ග්‍රහයායි. රාත්‍රී කාලය සෙනසුරු බලවත් වන සමයක් බවට සලකන බැවින් එම බලවත් අවස්ථාවේදී ඔහුට අයිති ශරීර කොටසක් කපා ඉවත් කිරීම සෙනසුරුට කරන අභියෝගයක් ලෙස පැරණි ග්‍රන්ථවල සටහන් වන බව කියනවා.
එහි ප්‍රතිඵලයක් ලෙස සෙනසුරුගේ ඒරාෂ්ටක සහ අසුබ තත්වයන් ඔබේ ජීවිතයට වැඩි වැඩියෙන් ගලා එන අතර, බාධා, ප්‍රමාදයන් සහ අනපේක්ෂිත ශෝකජනක සිදුවීම් ඇති වෙනවා කියලත් කියනවා.
ඒවගේම සන්ධ්‍යා කාලය (සවස 6න් පසු) සෞභාග්‍යයට අධිපති ලක්ෂ්මී දේවිය නිවසට වැඩම කරන පූජනීය කාලය කියලා විශ්වාසයක් තියෙනවා.
එනිසා එම අවස්ථාවේදී නියපොතු කැපීම, කුණු රොඩු ඉවත් කිරීම හෝ නිවස හැමදීම දේවියට කරන අගෞරවයක් විදිහට සලකනවා. මෙවැනි ක්‍රියාවන් නිසා නිවසට ලැබෙන ධනය සහ වාසනාව ගිලිහී යන බවත්, ඔබ අතින් සිදුවන මෙවැනි නොදැනුවත් වැරදි ඔබේ මූල්‍ය අපහසුතාවලට හේතුවක් විය හැකි බවටත් සමාජයේ නොයෙක් මත පවතිනවා.
ඒවගේම තමා යෝග විද්‍යාවට අනුව අපේ ශරීරයේ වැඩිම ජීව ගුණය හෙවත් ප්‍රාණ ශක්තිය පිටවන්නේ ඇඟිලි තුඩුවලින්. ඒනිසාම රාත්‍රී කාලයේ පරිසරයේ ධන අයන අඩු නිසා නියපොතු කැපීමෙන් ඇඟිලි තුඩු නිරාවරණය වී ශරීරයේ ඇති ධන ශක්තිය පිටතට ගලා ගොස් පරිසරයේ ඇති ඍණ ශක්තිය ශරීරයට ඇතුළු වෙන බව කියනවා.
මෙය උදෑසන අවදි වන විට ඔබට දැනෙන අලස බව සහ විඩාපත් බවට හේතුව කියලත් මතයක් තියෙනවා.
ඒවගේම නියපොතු, වර්ධනය සංකේතවත් කරන ශරීර කොටසක් බැවින් රාත්‍රී කාලය (නින්ද) තාවකාලික මරණයක් හා දිනයක අවසානයක් විදිහට සලකනවා.
එනිසා දවස අවසානයේ ශරීරයේ වැඩෙන කොටසක් කපා දැමීම තමාගේ ආයු කාලය කපා දැමීමක් විදිහට අතිශය පැරණි මෙන්ම බරපතළ විශ්වාසයක් තියෙනවා.
ඊට අමතරව රාත්‍රියේ නියපොතු කපන්නන් අකාලයේ මහලු වන බවටද ජනප්‍රවාද තියෙනවා. තවද ගැබිණි මවක් සිටින නිවසක රාත්‍රී කාලයේ නියපොතු කැපීම සපුරා තහනම් බවට විශ්වාසයක් තියෙනවා.

ඒ නියපොතු කැපීමේදී නිකුත් වන තියුණු ශබ්දය සහ කැපීමේ ක්‍රියාවලිය මඟින් මව් කුසේ සිටින දරුවාගේ පෙකණි වැලට හෝ සම්බන්ධතාවයට හානි සිදුවිය හැකි බවට විශ්වාස කරන නිසා කියලා තමා කියන්නේ.
මෙහි ප්‍රතිඵලයක් ලෙස දරුවාට අමනුෂ්‍ය බලපෑම් එල්ල විය හැකි අතර එය දරුවාගේ අනාගතයට අහිතකර ලෙස බලපාන බවටත් මතයක් තියෙනවා. ඒවගේම ජ්‍යෝතිෂයට අනුව රාහු ග්‍රහයා කිලුට සහ දූවිල්ලට අධිපති වෙනවා.
ඒ නිසා දවස පුරා වැඩ කිරීමේදී නියපොතු පාමුල එකතු වන කුණු රාහුගේ ශක්තිය විදිහට සලකනවා. ඉතින් රාත්‍රියේ නියපොතු කැපීමෙන් මෙම රාහු ශක්තිය (කුණු) නිවස පුරා, විශේෂයෙන්ම නිදන කාමරයේ විසිරී යන බවත් ඉන් නපුරු සිහින පෙනීම, නින්ද නොයාම සහ උදෑසන අවදි වන විට හිසෙහි බර ගතියක් ඇති විම,මනසට අහිතකර බලපෑම් වෙනවා කියලත් විශ්වාස පවතිනවා.
මේ සියල්ල විවිධ සමාජයන්හි පවතින මත බැවින් ඇතමෙක් මිථ්‍යාවන් ලෙස බැහැර කිරීමටත් තවකෙක් සත්‍ය යැයි විශ්වාස කිරීමටත් පෙළඹෙනවා.
කොහොම වුණත් මීට පස්සේ රෑට නියපොතු කපද්දි මේ සියල්ල හරි හැටි දැන නුවණින් විමසා කටයුතු කිරීම නුවණට හුරු බව බුද්ධිමත් පාඨක ඔබට මතක් කරනවා.