ව්‍යාපාරික ඔනේෂ්ගේ අබිරහස් ඝාතනයට හේතුව හෙළිවෙයි. මිලියන ගණනක් වටිනා අත්ඔරලෝසුවත් ඩැහැගනී.

Sri Lanka Crime Businessman
By Wayomi Feb 15, 2023 11:10 AM GMT
Wayomi

Wayomi

Report

ඔපෙක්ස් හෝල්ඩින් සමූහ ව්‍යාපාරයේ හිමිකරු ඔනේෂ් සුබසිංහ මහතාගේ අබිරහස් ඝාතනය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් මේ වනවිට හෙළිවී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව, ඔහුට අයත් ඩොලර් මිලියන 1.5ක ජීවිත රක්‍ෂණය සහ රුපියල් බිලියන ගණනක් වටිනා දේපළ ලබාගැනීමේ අරමුණින් මෙම ඝාතනය සිදුකර ඇති බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලින් පසුව අනාවරණය වී තිබෙනවා.

එම ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇත්තේ ඔනේෂ් සුබසිංහ මහතාගේ බ්‍රසීල ජාතික බිරිඳ සහ ඇයගේ මිතුරිය වෙතයි.

ඔනේෂ් සුබසිංහ ඝාතනයෙන් පසු බ්‍රසීලයට පළාගිය ඔහුගේ බිරිඳ මෙම දේපළ තමන් සතු කරගැනීමට නොයෙකුත් උපක්‍රම භාවිත කරමින් සිටින බවටද ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඉන්දුනීසියාවේ සුපිරි මහල් නිවාසයකදී ඔනේෂ් සුබසිංහ මහතාව අබිරහස් අන්දමින් ඝාතනය කිරීමෙන් පසු ඔහුගේ බ්‍රසීල ජාතික බිරිඳ සහ මිතුරිය පළාගොස් ඇත්තේ, ඔනේෂ් සතුව තිබූ ක්‍රෙඩිට් කාඩ්පත්, ජංගම දුරකථන, මිලියන ගණනක් වටිනා අත්ඔරලෝසුව ඇතුළු තවත් වටිනා භාණ්ඩ රැසක් ද රැගෙන බව විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන තිබෙනවා.

අදාළ ව්‍යාපාරිකයාගේ බ්‍රසීල ජාතික බිරිඳ, සිව් හැවිරිදි දියණිය සහ තවත් බ්‍රසීල ජාතික කාන්තාවක් එලෙස එම මහල් නිවසේ රැඳී සිට තිබුණි.

ඊට අමතරව ඔනේෂ්ගේ බිරිඳ ඉන්දුනීසියාවේ විනෝද චාරිකාවට යද්දී ද ඔහුට අයත්ව තිබූ මෙරට වටිනා දේවලින් සැලකියයුතු ප්‍රමාණයක් ද රැගෙන ගොස් ඇති බව වාර්තා වෙනවා.

ඔනේෂ් සුබසිංහ මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ඉන්දුනීසියාවේ විශේෂ පොලිස් කණ්ඩායමක් පුළුල් විමර්ශන පවත්වනවා. 

- ADA.LK-

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  

JOIN NOW