“ජනතාවට පාන් ගන්නත් බැරි තත්ත්වයක් උදා වෙලා” - මුජුබර් රහුමාන්
වර්තමානයේ ඉහළ යන ජීවන වියදම හමුවේ ජනතාව දැඩි ආර්ථික පීඩනයකට ලක්ව සිටින බව පාර්ලිමේන්තු මන්ත්රී මුජුබර් රහුමාන් මහතා පවසයි.
වෘත්තීය සමිති රැසක නියෝජිතයින් අද (30) විපක්ෂ නායකවරයා හමුවී පැවැත්වූ සාකච්ඡාවකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
ජනතාවට පාන් මිලදී ගැනීමට පවා නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති අතර, අද රාත්රියේ සිට පාන් මිලද ඉහළ යාමට නියමිත බව ඔහු පෙන්වා දුන්නේය.
එමෙන්ම, වෙළෙඳපොළ මිල පාලනය කිරීමට ආණ්ඩුව අසමත් වී ඇති බවත්, අස්වැසුම ප්රතිලාභීන් ලක්ෂ 18ක් ඉවත් කර ඇති බවත් මන්ත්රීවරයා චෝදනා කළේය.
ආණ්ඩුවේ සමාජ හා ආර්ථික වැඩපිළිවෙළ හරහා ජනතාවට කිසිදු සහනයක් නොලැබෙන බව සඳහන් කළ ඔහු, ජනතාවගෙන් එල්ල වන විරෝධතා මර්දනය කිරීමේ අරමුණින් නව නීති ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරන බවටද චෝදනා කළේය.
මර්දනය හැර වෙනත් විසඳුමක් ආණ්ඩුව සතුව නොමැති බවට චෝදනා කළ මුජුබර් රහුමාන් මහතා, යෝජිත පනත යටතේ වෘත්තීය සමිති තම අයිතිවාසිකම් වෙනුවෙන් සංවිධානය වීම පවා ත්රස්තවාදී ක්රියාවක් ලෙස අර්ථකථනය කිරීමේ අවදානමක් පවතින බව අවධාරණය කළේය.
“අපිට විතරක් නෙවෙයි, ප්රශ්න අහන ඔබවත් මේ පනත යටතේ අත්අඩංගුවට ගන්න පුළුවන්” යනුවෙන්ද ඔහු මාධ්යවේදීන් අමතමින් ප්රකාශ කළේය.