"අපේ ස්ථාවරය පැහැදිලියි" - නීතිඥ සංගමයේ දැනුවත් කිරීමට නොයන බව මන්ත්‍රී ලක්මාලි කියයි
විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයන් විසින් පැවැත්වීමට නියමිත දැනුවත් කිරීමේ වැඩසටහනට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සහභාගි නොවන බව මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය ඊයේ(19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.
ඇය සඳහන් කළේ, මෙම කරුණ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පැහැදිලි ස්ථාවරයක් සහ අදහසක් පවතින බවත්, ඒ අනුව ඔවුන් කටයුතු කරන බවත්ය.
මේ අතර, පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේ, අදාළ සංශෝධන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයන් විසින් සියලුම මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම පිළිබඳව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කමිටුවේදී මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි.
විපක්ෂ නායකවරයා විසින් ඒ සඳහා සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කැඳවන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවද සභානායකවරයා සඳහන් කළේය.