මෙරට පවුල්වලින් 50%කට වඩා ණය බරින්
2023 වර්ෂයේ ශ්‍රී ලංකාව තුළ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට කුටුම්භයන්ගෙන් 22%ක් ණය අර්බුදයට ලක්ව ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සිය මෑතකාලීන නවතම සමීක්ෂණ වාර්තාවන්ට අනුව පෙන්වා දෙන්නේ වර්තමානය වන විට මෙරට සමස්ථ කුටුම්භයන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක්, එනම් 54.9% ක් පමණ, මේ වන විට ණය බරින් පීඩාවට පත්ව ඇති බවයි.
මෙයින් අදහස් වන්නේ මෙරට කුටුම්භයන්ගෙන් හරි අඩකට වඩා වැඩි ප්‍රමාණයක් විවිධ ආකාරයෙන් ණයගැතිභාවයට පත්ව ඇති අතර ඔවුන් ඒවා කළමනාකරණය කිරීමට හෝ ගෙවීමට උත්සාහ කරන බවයි. මොවුන්ගේ මෙම ණයගැතිභාවයට වැඩියෙන්ම හේතු වී ඇත්තේ 31%ක උකස් කටයුතු හරහා සිඳුව ඇති ණයවීම් වන අතර දෙවනුවට විධිමත් ආකාරයට බැංකු හරහා ණය ලබා ගැනීම් 21.9%කි.
මීට අමතරව පොලියට මුදල් ලබාදෙන්නන් සහ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන හරහා ලබා ගන්නා ණය ගැනීම් පිළිවෙලින් 9.7% ක් සහ 8.7% ක් වාර්තා වන අතර, එමඟින් රටේ මූල්‍ය ක්ෂේත්‍රය තුළ අවිධිමත් ණය ප්‍රභවයන් බහුලව පවතින බව ද පෙන්නුම් කෙරේ. තවද, සමෘද්ධි බැංකු හරහා ලබා ගන්නා ණය 7.1%ක්, සිය රැකියා ස්ථානයෙන් ලබා ගන්නා ණය 5.2%ක් සහ ක්‍රෙඩිට් කාඩ් හරහා ලබා ගන්නා ණය 1.8%ක් ලෙස කුඩා පරිමාණයෙන් ජනතාවගේ ණයගැතිභාවයට හේතු වී ඇත.
