තැපැල් වර්ජනයට ආණ්ඩුවෙන් රතු එළියක්
තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ විසින් ආරම්භ කරන ලද අඛණ්ඩ වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී.
ඉල්ලීම් 19ක් මුල් කරගනිමින් ඊයේ (17) පස්වරු 4.00 සිට මෙම වැඩවර්ජනය ආරම්භ වූ අතර, මධ්‍යම රාත්‍රී 12.00 සිට එය දිවයින පුරා ව්‍යාප්ත වූ බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි.
මේ හේතුවෙන් අද (18) දිනයේ සියලුම තැපැල් සේවා කටයුතු අඩපණ වන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී තැපැල්පති රුවන් සත්කුමාර මහතා පැවසුවේ, තැපැල් සේවකයින්ගේ ඉල්ලීම් රැසක් ඉටුකර තිබියදී මෙවැනි වැඩවර්ජනයකට එළඹීම අසාධාරණ බවයි.
“උප තැපැල් කාර්යාල 3,000කට වැඩි ගණනක් රට පුරා තිබෙනවා. ඒවායේ සේවකයින් වැඩවර්ජනයකට එක්වී නැහැ. නමුත් තැපැල් භාණ්ඩ බෙදාහැරීමේදී යම් ප්‍රමාදයක් සිදුවිය හැකියි. මේ සම්බන්ධයෙන් ජනතාවට සිදුවන අපහසුතාවය ගැන තැපැල්පතිවරයා ලෙස මම කනගාටුව පළ කරනවා” යනුවෙන් ඔහු පැවසීය.
එසේම, රාජකාරිවලට පැමිණීමට බලාපොරොත්තු වන සේවකයින්ට තර්ජන එල්ල වන බවත්, එම සේවකයින්ට ආරක්ෂාව ලබාදීමට පොලිස්පතිවරයාට ලිපියක් යවා ඇති බවත් ඔහු සඳහන් කළේය.
“කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදු කළහොත් විනයානුකූලව කටයුතු කරනවා. IT පද්ධතිවලට බාධා එල්ල කර තිබෙනවා. එය රජයේ දේපළවලට හානි කිරීමක් ලෙස අපි සලකනවා. එවැනි අවස්ථාවකදී විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමට සිදුවෙනවා" යනුවෙන් තැපැල්පතිවරයා වැඩිදුරටත් පැවසීය.
වැඩවර්ජනය සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙලෙස අදහස් පළ කළේය.
“වැඩවර්ජනය හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම් තත්ත්වය පහත වැටෙනවා. එමගින් භාණ්ඩාගාරයට අමතර වියදම් බරක් පැටවෙනවා. මෙය අනාගතයේදී වැටුප් වැඩිකිරීම් හෝ අතිකාල දීමනා ලබාදීමට බලපානවා. එබැවින් මෙය අසාධාරණ වැඩවර්ජනයක් ලෙස මම හඳුන්වනවා”
අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, “තැපැල් දෙපාර්තමේන්තුවට අවශ්‍ය සේවකයින් බඳවා ගැනීම, වාහන ලබාදීම, ඩිජිටල්කරණය, සහ වැටුප් වැඩිකිරීම් සිදුකරමින් පවතින මොහොතක, කඩාකප්පල්කාරී ලෙස වැඩවර්ජනයකට යාමෙන් වළකින ලෙස මම සියලු සේවකයින්ගෙන් ඉල්ලනවා. තමන්ගේ රාජකාරි ඉටුකරමින්, තැපැල් දෙපාර්තමේන්තුව ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීමට සහය වන්නැයි මම ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා”
