යුද්ධය හමුවේ ඉන්දියානුවන්ට උදව් කළ සියලුදෙනාට මෝදිගෙන් ස්තූතිය
මැදපෙරදිග ගිනිදැල් හමුවේ වුවද, එහි වෙසෙන කෝටියකට අධික ඉන්දියානු ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සෞදි අරාබිය ඇතුළු ගල්ෆ් කලාපීය රාජ්‍යයන් දක්වන සුවිශේෂී සහයෝගය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ඇගයීමට ලක්ව තිබේ.
ඒ අනුව අද (29) පැවැති 'මන් කි බාත්' (Mann Ki Baat) ගුවන් විදුලි වැඩසටහන මගින් ජාතිය ඇමතූ අගමැතිවරයා, දුෂ්කර අවස්ථාවන්හිදී අසල්වැසි මිතුරා පෙන්වන මෙම මානුෂීය ලෙන්ගතුකමට ඉන්දියාවේ ප්‍රණාමය හිමිවන බව සඳහන් කළේය.
එමෙන්ලීම ගෝලීය ඉන්ධන වෙළෙඳපොළේ මිල ගණන් උච්චාවචනය වුවද, ඉන්දියානු පාරිභෝගිකයා ඉන් පීඩාවට පත් නොවීමට රජය උපරිමයෙන් කටයුතු කරන බව ඔහු මෙහිදී අවධාරණය කළේය.
පෙට්‍රල් සහ ඩීසල් මිල පාලනය කිරීම සඳහා බදු සහන ලබාදීමට රජය පියවර ගෙන ඇති අතර, සාම්ප්‍රදායික ගෑස් සිලින්ඩරය වෙනුවට නළ මාර්ග හරහා ස්වාභාවික වායුව (PNG) නිවෙස් වෙත ලබාදීමේ ව්‍යාපෘති කඩිනම් කිරීමෙන් බලශක්ති ස්වාධීනත්වය කරා යන ගමන වේගවත් කරන බව ද ඔහු පැවසීය.
දේශපාලන වාසි තකා මෙවැනි සංකීර්ණ යුදමය තත්ත්වයන් අවභාවිත නොකරන ලෙස විපක්ෂයෙන් ඉල්ලා සිටි අගමැතිවරයා, ජාතික ආරක්ෂාව සහ ජනතාවගේ යහපත උදෙසා සියලු දෙනා එක් ධජයක් යටතේ පෙළගැසීමේ වැදගත්කම යළිත් සිහිපත් කළේය.