කුඩා දරුවන් සම්බන්ධයෙන් රිජ්වේ රෝහලින් අසුබ ආරංචියක් - හේතුව මෙන්න
වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සන්ධානය පවසන පරිදි රිජ්වේ ආර්යා ළමා රෝහල ඇතුළු රෝහල් රැසක කුඩා දරුවන් සඳහා ලබාදෙන ඇතැම් ඖෂධ අඛණ්ඩ සැපයුමක් නොමැති වීමෙන් ළමා ජීවිත අවදානමකට ලක්ව ඇති බව සඳහන් කරයි.
එම සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරන පරිදි වලිප්පුව සඳහා ලබාදෙන Ethosu ximide, ළමා හතිය, වකුගඩු ආබාධ තත්ත්ව ඇතුළු කුඩා දරුවන්ගේ විශේෂ වෛද්‍ය සායනවලදී ලබාදෙන ඖෂධ කාණ්ඩ කිහිපයක් අඛණ්ඩව සැපයීමට නොහැකිවීමෙන් මෙම තත්ත්වය උද්ගතව ඇතැයි සඳහන් කරයි.
මෙම ඖෂධ බාහිර ඔසුසල්වලින් මිලදී ගැනීමට විශාල මුදලක් වැයවීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජය කඩිනමින් අවධානය යොමු කළ යුතුව ඇතැයි ද එම සන්ධානය වැඩිදුරටත් පවසයි.
වලිප්පුව සඳහා දරුවන්ට ලබාදෙන Ethosu ximide ඖෂධය පමණක් මාසයක භාවිතය වෙනුවෙන් පිටත ඔසුසලකින් මිලදී ගැනීම සඳහා අවම වශයෙන් රුපියල් 30,000 ට ආසන්න මුදලක් වැය කිරීමට අසරණ දෙමාපියන්ට සිදුව ඇතැයි ද එම සන්ධානය කියයි.