කළු ලෑල්ලට සමුදී ඩිජිටල් ලෝකයට පියමනින වතුකරයේ දරුවන් - පන්ති කාමර 60ක වැඩේ අවසන් අදියරේ
වතුකරයේ දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කිරීමට නියමිත ස්මාර්ට් පන්ති කාමර 60ක ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අවසන් අනුමැතිය සතියක් හෝ දින 10ක් ඇතුළත ලබාදීමට ඉන්දීය පාර්ශ්වය එකඟ වී තිබේ.
ඒ අනුව අදාළ ව්‍යාපෘතිය සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ලබාගත යුතු අනුමැතිය කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සංවර්ධන සහයෝගීතා අංශයේ ප්‍රධානී රොෂ්නි තොම්සන් මහත්මිය සඳහන් කර ඇත.
ඇය ඇතුළු ඉන්දීය නියෝජිත පිරිසක් සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (19) වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේදී පැවැත්වීමේදී මේ බව ප්‍රකාශ වී තිබේ.
එහිදී අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ ස්මාර්ට් පන්ති කාමර 60ක ව්‍යාපෘතිය මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇති බවයි.
ඒ සඳහා අවශ්‍ය අනුමැතිය කඩිනමින් ලබාගෙන මෙම වසර අවසන් වීමට පෙර පාසල් දරුවන්ට එහි ප්රතිලාභ ලබාදීමට හැකි වන පරිදි කටයුතු කිරීම වැදගත් බව ද අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.
මේ අතර, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ඓතිහාසික හා මිත්‍රශීලී සබඳතා වර්තමානයේදීත් ශක්තිමත්ව පවත්වාගෙන යාම පිළිබඳව අමාත්‍යවරයා සිය සතුට පළ කර ඇත.
වාහන වැඩකට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට යන්න ඉන්න අයට විශේෂ දැනුම්දීමක් - සේවාවන් ලබාගන්න Appointment එකක් දා ගන්න
ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ ප්‍රගතියත් සාකච්ඡාවට
ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.
එහි පළමු අදියර යටතේ ඉදිකිරීමට නියමිත නිවාස 1,300න් 2026 ඔක්තෝබර් 31 වැනිදා වනවිට නිවාස 670ක ඉදිකිරීම් අවසන් කර තිබේ.
තවත් නිවාස 306ක ඉදිකිරීම් වහල මට්ටම දක්වා අවසන් කර ඇති බව ද මෙහිදී අනාවරණය වී ඇත.
එමෙන්ම දෙසැම්බර් 20 වැනිදා වනවිට නිවාස 1,000කට ආසන්න සංඛ්‍යාවක ඉදිකිරීම් අවසන් කිරීම රජයේ අපේක්ෂාව බව අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.
දෙවන අදියර යටතේ හිමිකම් පත්‍ර ලබාදී ඇති නිවාස 2,026ක ඉදිකිරීම් කඩිනම් කිරීම සහ ඉදිරි අදියරවලදී ප්‍රතිලාභීන් තෝරාගැනීමේ නිර්ණායක වඩාත් ප්‍රායෝගිකව සකස් කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වී ඇත.
ඒ සම්බන්ධයෙන් නිවාස අමාත්‍යවරයා සහ අදාළ ආයතන ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමේ අවශ්‍යතාව ද සාකච්ඡා කර තිබේ.
දිට්වා ආපදාවෙන් හානි වූ නිවාස සඳහාත් ඉන්දීය සහාය
මේ අතර, දිට්වා ආපදාවෙන් හානි වූ නිවාස සඳහා ශ්‍රී ලංකා රජය ලබාදීමට තීරණය කර ඇති සහනාධාර වැඩසටහනට ඉන්දීය රජයේ දායකත්වය ලබාදීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වී තිබේ.
ඒ අනුව පූර්ණ හානි සිදුවූ නිවාස අතරින් නිවාස 5,400ක් සඳහා ශ්‍රී ලංකා රජය ලබාදෙන රුපියල් ලක්ෂ 50ක ආධාර මුදලින් පළමු වාරිකය ලෙස රුපියල් ලක්ෂ 20 බැගින් ලබාදීමට ඉන්දීය රජය සූදානම් බව නියෝජිත පිරිස සඳහන් කර ඇත.
එමෙන්ම අර්ධ හානි සිදුවූ නිවාස සඳහා රුපියල් ලක්ෂ 5 බැගින් ලබාදීමට ද ඉන්දීය රජය සූදානම් බව මෙහිදී ප්‍රකාශ වී තිබේ.