වෙරළ තීරය ගිනි ජාලාවක් වෙයි - නිවාස 200ක් අළුවෙයි!
මැලේසියාවේ සාබාහ් ප්‍රාන්තයේ වෙරළ ආසන්නයේ පිහිටි ගම්මානයක අද (19) අලුයම හටගත් දරුණු ගින්නකින් නිවාස 200කට අධික ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.
අහිංසක ධීවර ප්‍රජාව වෙසෙන මෙම ප්‍රදේශය මිනිත්තු කිහිපයක් ඇතුළත ගිනි ජාලාවකින් වැසී ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගින්න හටගෙන ඇත්තේ අද අලුයම 01.30ට පමණ ජනතාව නින්දේ පසුවන අවස්ථාවකදීය.
නිවාස එකිනෙකට ඉතා සමීපව පිහිටා තිබීමත්, ප්‍රදේශයට හමාගිය තද සුළඟත් හේතුවෙන් ගින්න වේගයෙන් පැතිර ගොස් ඇත. ප්‍රදේශයේ පවතින මාර්ග අපහසුතා හේතුවෙන් ගිනි නිවන රථවලට අදාළ ස්ථානයට ළඟා වීම දැඩි අභියෝගයක් විය.
මූලික වාර්තා අනුව පවුල් 89කට අයත් පුද්ගලයින් 445 දෙනෙකු මේ වන විට උන්හිටි තැන් අහිමිව අසරණව සිටිති.
"අපිට ඉතිරි වුණේ ඇඳ සිටි වස්ත්‍රය පමණයි. සියල්ල ඇසිල්ලකින් අළු වෙලා ගියා," යැයි විපතට පත් ගම්වැසියෙක් කඳුළින් යුතුව පවසා තිබේ.
විපතට පත් වූ පිරිස් සඳහා තාවකාලික නවාතැන් සහ ආහාර සැපයීමට මැලේසියානු බලධාරීන් මේ වන විට කඩිනම් පියවර ගෙන ඇත. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, අදාළ අංශ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.