මහින්ද රාජපක්ෂගේ ජීවීතය අනතුරේ යම් දෙයක් වුණොත් රජය වග කියන්න ඕනි - නීතිඥ මනෝජ් ගමගේ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව මේ වන විට දැඩි අනතුරකට ලක්ව ඇති බවත්, ඔහුට කිසියම් හෝ අනතුරක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම වත්මන් රජය විසින් භාරගත යුතු බවත් හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා ප්‍රකාශ කළේය.
හිටපු ජනාධිපතිවරයාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවූ අවස්ථාවේදී, කිසිදු ශරීර පරීක්ෂාවකට ලක් නොවූ විශාල පිරිසක් ඒ අවට රැඳී සිටි බවත්, එවැනි අනාරක්ෂිත වටපිටාවක් තුළ ත්‍රස්තවාදියෙකුට වුවද පැමිණ හිටපු ජනාධිපතිවරයාට අනතුරක් කිරීමේ හැකියාව තිබූ බවත් ඔහු පෙන්වා දුන්නේය.
එල්.ටී.ටී.ඊ. (LTTE) සංවිධානය විසින් ඊනියා මහවිරු සමරනු ලබන මැයි මාසය එළඹ තිබියදී, මහින්ද රාජපක්ෂ මහතා වැනි නායකයෙකු මෙලෙස අනාරක්ෂිත ලෙස කැඳවීම පිටුපස කිසියම් සැකසහිත තත්ත්වයක් පවතින බව ද මනෝජ් ගමගේ මහතා සඳහන් කළේය.
වත්මන් රජය බලයට පත්වීමෙන් පසු හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව ද කප්පාදු කළ බව සිහිපත් කළ ඒ මහතා, රට තුළ වර්තමානයේ සිදුවන ඇතැම් සැකකටයුතු මරණ දෙස බැලීමේදී තමන් ඇතුළු පිරිසගේ ජීවිත ආරක්ෂාව පිළිබඳව ද මේ වන විට දැඩි අවිනිශ්චිතතාවක් මතු වී ඇති බව වැඩිදුරටත් පැවසීය.