මහින්ද බැසිල් ඇතුළු පිරිසකට විදෙස් ගමන් තහනම් කරන්නැයි ඉල්ලා මෝසමක්..

By Sithumi Jul 12, 2022 02:17 PM GMT
Sithumi

Sithumi

Report

හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ හිටපු මහබැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල් සහ මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් ඇතුළු පිරිසකගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අද මෝසමක් ඉදිරිපත් කෙරුණා.

වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් පවත්වන්නැයි නියෝග කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළවයි මෙම මෝසම ඉදිරිපත් කර ඇත්තේ.

අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 27 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබෙනවා. එම මූලික අයිතිවාසිකම් පෙත්සම තුළින් හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල් සහ මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මෙන්ම මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්. ආර්. ආටිගල යන අය අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා තිබෙනවා.

මේ අතර කටුනායක ගුවන් තොටුපලේ සේද මාවත මගී නිෂ්කාශන කටයුතුවලින් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා.

රට තුල මතුව ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ වගකිව යුත්තන් රට හැරයාමේ තත්වයක් මතුව තිබීම හේතුවෙනුයි අද අලුයම සිට ඔවුන් එම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කරනු ලැබුවේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිදහස් සේවක සංගමයද මේ වනවිට කටුනායක ගුවන් තොටුපළ සේද මාවත මගී සේවා කටයුතු වලින් ඉවත් වී තිබෙනවා.

ඒ එම සේවා සැපයීම තුලින් ජනතා විරෝධයක් ඇතිවීමේ අවදානමක් මතුවිය හැකි බව පවසමින්. විදෙස් ගතවීම සඳහා කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රය වෙත පැමිණි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ විරෝධය හමුවේ අද අලුයම යලි හැරී ගිය බව වාර්තා වුණා. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගුවන් තොටුපලින් ඩුබායි රාජ්‍යය දක්වා ගොස් එතැන් සිට ඇමරිකාවේ වොෂින්ටන් නුවර බලා යාමටයි උත්සහ ගෙන තිබුණේ.

ඩුබායි රාජ්‍ය වෙත යාම සඳහා අද අලුයම 3.15 ට ගුවන් තොටුපලින් පිටත්වීමට තිබූ ඊ.කේ. 649 දරණ එමිරේට්ස් ගුවන් යානයේ ව්‍යාපාරික පන්තියේ ටිකට් පතක් ඔහු වෙන් කරගෙන තිබුණා. කෙසේ වෙතත් එහිදී එමිරේට්ස් සහ ශ්‍රී ලංකන් ගුවන් සේවා පරීක්ෂණ කවුළුව අසළ රැඳී සිටි ගුවන් මගීන්ගෙන් විරෝධයක් එල්ලවීමත් සමඟ සිය ගුවන් ගමන අතහැර යළි හැරී යාමටයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට සිදුව ඇත්තේ. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණට අයත් පෞද්ගලික නිවසක රැඳී සිටින බවට සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වන තොරතුරුවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ගුවන් හමුදා මූලස්ථානය අවධාරණය කළා. 

ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙය, ගුවන් හමුදාව සහ ගුවන් හමුදාපතිවරයාගේ කීර්ති නාමයට හානි කිරීම සඳහා සහ ගුවන් හමුදාව කෙරෙහි මහජනතාව තුළ වෛරය සහ ක්‍රෝධය පැතිරවීමේ පටු අවස්ථාවාදී අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා පළ කරන ලද ප්‍රවෘත්තියක් බවයි.