ඉදිරි පැය 24 තුළ කරන්න යන දේ ගැන දැනුම් දීමක්..

Sri Lanka Litro gas Lasantha alagiyawanna
By Aruna Dec 05, 2021 09:05 AM GMT
Aruna

Aruna

Report

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව පාරිභෝගික කටයුතු අධිකාරියේ මාර්ගෝපදේශයන්ට අනුකූලව ඉදිරි පැය 24 තුළ LP ගෑස් සැපයීම නැවත ආරම්භ කිරීමට ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම් එකඟතාව පළ කර ඇත.

මේ අතර තාවකාලිකව මෙහෙයුම් අත්හිටුවා තිබූ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ දෙසැම්බර් 7වනදා සිට එම මෙහෙයුම් යළි අරඹනු ඇති බවය.

මේ අතර දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ ගෑස් අනතුරු සිදුවූයේ ගෑස් සමාගම්වල වරදක් නිසා බව තහවුරු වුවහොත් සිදුවූ හානිවලට වන්දි ලබාගැනීම සඳහා දිසා අධිකරණවල නඩු පැවරීමට හැකියාවක් ඇතැයි නීති විශාරදයින් පෙන්වාදෙයි.

අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති නීතිඥ යූ.ආර්.ද සිල්වා මහතා ඒ බව සඳහන් කළේය.

"ගෑස් බෙදාහරින ප්‍රධාන සමාගම් දෙක මගින් බෙදාහැරි ගෑස් සංයුතිය පිළිබඳ යම් ගැටලුවක් තිබෙනවා කියලා අවසාන පරීක්ෂණයේ තේරුණොත් එවැනි අවස්ථාවක අනිවාර්යයෙන්ම ඒ අයට එරෙහිව ක්‍රියා කරන්න පුළුවන්.

වන්දි ලබාගැනීම සඳහා දිසා අධිකරණයේ වන්දි නඩු පැවරීමේ හැකියාවක් තිබෙනවා."

ගෑස් සිලින්ඩර ආශ්‍රිත පිපිරීම් හා ගිනිගැනීම් නිසා උද්ගත වූ තත්ත්වය හේතුවෙන් ලිට්‍රො හා ලාෆ්ස් ගෑස් සමාගම් දෙකට ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදාහැරීම අත්හිටුවන්නැයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය පෙරේදා (03) දැනුම් දුනි.

ඒ, ගෑස්වල ගඳ සුවඳ ජනනය කරන එතිල් මර්කැප්ටන් රසායනයේ ඒකක ප්‍රමාණය සම්මත ප්‍රමිතියට අනුකූල නොවන බව තහවුරුවීම හේතුවෙනි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now