වැඩ තහනම නීති විරෝධියි - පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්ගේ රිට් පෙත්සමට අභියාචනාධිකරණයෙන් ලැබුණු දින මෙන්න
තම සේවය තහනම් කිරීමට ගෙන ඇති තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින් කතානායකවරයා ඇතුළු පාර්ශ්වයන්ට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන ජූලි 20 වනදා යළි කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කළේය.
මෙම පෙත්සම අද (19) සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැණිනි.
පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණයට දන්වා සිටියේ, පෙත්සම සම්බන්ධ කරුණු තහවුරු කිරීමට තමන් සූදානම් බවයි. මේ අතර, කතානායකවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කනගීශ්වරන් මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ, පෙත්සම පවත්වාගෙන යාමේ නීතිමය හැකියාව සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කරන බවයි.
එමෙන්ම සෙසු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නයිජල් හැච් සහ නීතිඥ චාමර නානායක්කාරවසම් යන මහත්වරු ද එවැනිම මූලික විරෝධතා ඉදිරිපත් කරන බව අධිකරණයට දැනුම් දුන්හ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල, පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජූලි 20 වනදා යළි කැඳවීමට නියෝග කළේය. කිසිදු සාධාරණ විමර්ශනයකින් තොරව තම සේවය තහනම් කර ඇති බවත්, එම තීරණය නීතියට පටහැනි බැවින් එය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු සිය පෙත්සම මගින් ඉල්ලා තිබේ.