පොල් ගෙඩියට අවම මිලක් එයි- ඇමැති සමන්ත විද්‍යාරත්නගෙන් කඩිනම් පියවරක්
පොල් වගාකරුවන්ට පොල් ගෙඩියක් සඳහා සාධාරණ අවම මිලක් (Floor Price) හඳුන්වාදීම සහ පාරිභෝගිකයන්ට සාධාරණ මිලකට පොල් ලබාදීම සඳහා ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සාකච්ඡාවක් වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
පොල් මිල නියාමනය සහ කර්මාන්තයේ තිරසාර සංවර්ධනය සම්බන්ධයෙන් කඩිනම් තීරණ ගැනීම සඳහා පොල් වගාකිරීමේ මණ්ඩලය, පොල් සංවර්ධන අධිකාරිය, පොල් පර්යේෂණ ආයතනය, වගාකරුවන්, සැකසුම්කරුවන් සහ කර්මාන්තයට අදාළ අනෙකුත් පාර්ශ්වයන් සමඟ පුළුල් සාකච්ඡාවක් කඩිනමින් කැඳවන ලෙස ද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
මෙම සාකච්ඡාවට අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතා ඇතුළු පොල් කර්මාන්තයට අදාළ ආයතනවල ප්‍රධානීන් සහ නිලධාරීහු එක්ව සිටියහ. වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේදී පැවති මෙම සාකච්ඡාවේදී ලෝක වෙළෙඳපොළේ පොල් මිල පහළ යාම හේතුවෙන් දේශීය පොල් මිලදී ගැනීමේ මිලට එල්ල වී ඇති බලපෑම් සහ පොල් කර්මාන්තයේ ස්ථාවරභාවය ආරක්ෂා කිරීම සඳහා ගත යුතු පියවර පිළිබඳව අවධානය යොමු කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ 2030 වන විට වාර්ෂික පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 4,200 දක්වා ඉහළ නැංවීම සහ පොල් ආශ්රිත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 දක්වා වර්ධනය කිරීම රජයේ ප්‍රධාන ජාතික ඉලක්කයක් බවයි.
එම ඉලක්ක සපුරා ගැනීම සඳහා පොල් වගාකරුවන් ශක්තිමත් කිරීම, වගාබිම් ආරක්ෂා කිරීම, නිෂ්පාදන පිරිවැය අවම කිරීම සහ වෙළෙඳපොළේ මිල ස්ථාවරතාවය පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බවද ඔහු අවධාරණය කළේය.