ධවල මන්දිරයෙන් හදිසි සමුගැනීමක්- ට්‍රම්ප්ගේ විශ්වාසවන්ත මාධ්‍ය ලේකම් ධුරයට තිත
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලයේ ධවල මන්දිර මාධ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කළ කැරොලයින් ලෙවිට් මෙම මාසය අවසානයේ සිය ධුරයෙන් ඉවත් වන බව ට්‍රම්ප් තහවුරු කර තිබේ.
28 හැවිරිදි ලෙවිට් ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලය ආරම්භයේ සිටම ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරය දැරූ අතර, මෙම වසරේ අප්‍රේල් සිට ජූලි දක්වා මාතෘ නිවාඩු ලබා සිටි කෙටි කාලය හැර ඇය අඛණ්ඩව එම තනතුරේ කටයුතු කළාය.
මාධ්‍යවේදීන් සමඟ ඇතැම් අවස්ථාවලදී දැඩි හා ගැටුම්කාරී ස්වරූපයක් ගත් ඇයගේ සන්නිවේදන විලාසය ට්‍රම්ප් පරිපාලනයේ කැපී පෙනෙන ලක්ෂණයක් විය.
කෙසේ වෙතත්, ට්‍රම්ප් ඇයව සිය විශ්වාසවන්ත සහායිකාවක් ලෙස ප්‍රසිද්ධියේ අගය කර තිබේ. ට්‍රම්ප් Truth Social ඔස්සේ ප්‍රකාශ කරමින් සඳහන් කළේ, ලෙවිට් සිය කුඩා දරුවන් සහ පවුලේ සාමාජිකයන් සමඟ වැඩි කාලයක් ගත කිරීම සඳහා ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉවත් වන බවයි.
ඇය ඉදිරියේදී තම ඉහළ පෙළේ බාහිර උපදේශකවරියක ලෙස කටයුතු කරමින් රිපබ්ලිකන් පක්ෂය තුළ බලපෑම් සහගත හඬක් බවට පත්වනු ඇතැයිද ට්‍රම්ප් සඳහන් කළේය.
මෙම වෙනස සිදුවන්නේ 2026 මධ්‍ය කාලීන මැතිවරණය ඉලක්ක කර ගනිමින් ට්‍රම්ප් පරිපාලනය දේශපාලනිකව තීරණාත්මක කාලයකට පිවිසෙමින් සිටින අවස්ථාවකය.
ප්‍රථම වරට ජනාධිපති ට්‍රම්ප්ගේ ධුර කාලය තුළ සහකාර මාධ්‍ය ලේකම්වරියක සහ කථිකාචාරිනියක ලෙස සේවය කළ ඇය, අනතුරුව කොන්ග්‍රස් මන්ත්‍රී එලිස් ස්ටෙෆනික් යටතේ සන්නිවේදන අධ්‍යක්ෂවරියක ලෙසද කටයුතු කර ඇත.
2024 මැතිවරණ ව්‍යාපාරයේදී ජනාධිපති ට්‍රම්ප්ගේ මාධ්‍ය ලේකම්වරිය ලෙස ඇය සේවය කළ අතර, සිය ධුර කාලය තුළ මාධ්‍ය සමඟ දැඩි සංවාදශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කළ නිලධාරිනියක ලෙසද ප්‍රසිද්ධියට පත්ව සිටියාය.