වරිපනම් ගාස්තු ගැන සුබ ආරංචියක් - මේ මාසේ 28 ට පෙර ගෙව්වොත් ලොකු සහනයක්
නව තක්සේරු වටිනාකමට අනුව වරිපනම් ගාස්තු නියම කිරීමෙන් මහනුවර නගර සීමාවේ ව්‍යාපාරික ප්‍රජාව සහ නිවාස හිමියන් පත්වූ අසීරුතාව සැලකිල්ලට ගනිමින් ව්‍යාපාර අංශයට 5 % ක සහ ගෘහස්ත අංශයට 2 % ක සහනයක් ලබාදුන් බව මහනුවර මහ නගර සභාවේ නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක ප්‍රකාශ කරයි.
ඒ අනුව වසර 12කට පසු තක්සේරු දෙපාර්තමේන්තුව මඟින් නගර සීමාවේ ව්‍යාපාර ස්ථාන හා නිවාස තක්සේරු කළ බවත් එම වටිනාකමට අනුව ව්‍යාපාර අංශයෙන් 21 % ක් ද ගෘහස්ත අංශයෙන් 14 % ක්ද වරිපනම් අයකර ගැනීම නගර සභාව තීරණය කර තිබූ බවත් ඔහු සඳහන් කළා.
නගරාධිපතිවරයා මේ බව කියා සිටියේ මහනුවර මහ නගර සභාව මඟින් 2026 වසරට අඳාළව අය කිරීමට සැළසුම් කර තිබූ වරිපනම් ගාස්තු ප්‍රතිශත පහළ දැමීමට තීරණය කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.
එමෙන්ම කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශු සම්පත් අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත සමඟ කළ සාකච්ඡාවකින් අනතුරුව වරිපනම් ගාස්තු ප්‍රතිශත සංශෝධනය කිරීමට නගර සභාව ගත් තීරණය දැනුම් දෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ චන්ද්‍රසිරි විජේනායක මහතා, 2012 වසරෙන් පසු 2025 දක්වා නගර සීමාවේ ව්‍යාපාරික ස්ථාන හා නිවාසවල වටිනාකම තක්සේරු කර නොතිබූ බව සඳහන් කළා.
එමෙන්ම වසර 12කට පසු කළ තක්සේරුව අනුව ඒවාහි නව වටිනාකම් විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවත් කියා සිටියා.
ඒ අනුව එම තක්සේරු මුදලට අනුව ව්‍යාපාරික අංශයෙන් 21 % ක් ද නිවාස වලින් 14 % ක්ද වරිපනම් වශයෙන් අය කිරීමට නගර සභාව ගත් තීරණය සම්බන්ධයෙන් ව්‍යාපාරික ප්‍රජාව හා නිවාස හිමියන් යම් විරෝධයක් දැක්වූ බවත් වරිපනම් ප්‍රතිශත යම් ප්‍රමාණයකින් අඩුකර සහනයක් ලබාදෙන ලෙස ඔවුන් ඉල්ලීම් කළ බවත් ඔහු පැවසුවා.
අඳාළ ගාස්තු වැඩි කිරීමද සැලකිල්ලට ගනිමින් නගර සභාව 2026 වසරට අයවැය සම්මත කර තිබූ බැවින් වරිපනම් ගස්තු ප්‍රතිශත අඩු කිරීමෙන් නගර සභාවට අහිමිවන මුදල සොයා ගැනීමට විකල්ප ක්‍රම සෙවීමට සිදුවූ බවත් ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම සිදුකළ සාකච්ඡා වලින් අනතුරුව අවසානයේ ව්‍යාපාරික ප්‍රජාවට 5% ක සහ නිවාස හිමියන්ට 2% ක සහනයක් ලබා දීමට තීරණය කළ බවත් නගරාධිපතිවරයා ප්‍රකාශ කළා.
එබැවින් මෙම වසරේදී ව්‍යාපාරික ප්‍රජාවගෙන් 16 % ක හා නිවාස හිමියන්ගෙන් 12 % ක වරිපනම් ගාස්තුවක් අය කිරීමට නගර සභාව තීරණය කර ඇත.
එම මුදල් මෙම මස 28 ට පෙර ගෙවන්නේ නම් 10 % ක සහනයක් ලබා දීමට නගර සභාව තීරණය කර ඇති බවත් ඔහු අවධාරණය කර ඇත.