රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට විශේෂ අවස්ථාවක්...

By Sithumi Sep 13, 2022 11:14 AM GMT
Sithumi

Sithumi

Report

වෙල්ඩින් සහ ග්‍රයින්ඩින් වැනි ක්ෂේත්‍ර සඳහා කොරියාව තුළ විශාල වශයෙන් රැකියා අවස්ථා තිබෙන බවත් භාෂා ප්‍රවීණතාවයක් නොමැතිව වුවද ඒ සඳහා අයදුම් කළ හැකි බවත්, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය. එන්.වී.කි්‍යු සහතික ආදිය මේ සඳහා අවශ්‍ය නොවන බව කී රාජ්‍ය අමාත්‍යවරයා එම ක්ෂේත්‍රයේ පළපුරුද්ද ඇති ,වයස අවුරුදු 45 ට අඩු පුද්ගලයින්ට මේ සඳහා අයදුම් කළ හැකි බව ද සඳහන් කළේය.

මෙම රැකියාවන්හි වැටුප් රුපියල් ලක්ෂ 8 1/2 සිට ආරම්භ වන බව කී ශාන්ත බණ්ඩාර මහතා ක්‍ෂේත්‍රයේ පළපුරුද්ද ඇති මේ සඳහා උනන්දුවක් දක්වන පිරිස් වේ නම් විදේශ රැකියා ප්‍රවර්ධන කාර්යංශයේ නාවල පිහිටි කාර්යාලයට පැමිණෙන ලෙස ශාන්ත බණඩාර මහතා දැනුම්දීමක් ද කළේය.

එහිදී තාක්ෂණ කමිටුවක් හරහා ඔවුන්ගේ අවශ්‍යතා සම්පුර්ණ කර අදාළ උපදෙස් ලබා දෙන බවත්, ඔවුන්ට රැකියා සඳහා විදේශ ගතවීමේදී රාජ්‍ය බැංකු මඟින් ණය ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.