මටත් කොවිඩ් හැදුනා ඇත්තටම මට ම’රණ බය දැනුණා – වෛද්‍ය ජයරුවන් බණ්ඩාර
මෙවර නවලිය සෙනෙහසේ නවාතැන වෙත කැඳවා ගන්නේ බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර. වෛද්‍යතුමනි, මේ කතාබහ ඔබේ පවුලේ විස්තර වලින්ම පටන් ගනිමු. මගේ පවුලේ අපි පස් දෙනයි. මගේ බිරිඳ වෛද්‍යවරියක්.
ඇය මේ කාලේ ද සොයිසා කාන්තා රෝහලේ සේවය කරනවා. අපට පුතාලා ම තුන් දෙනෙක් තමයි ඉන්නේ. අපේ ලොකු පුතා වෛද්‍ය වරයෙකු වීමේ අදහසින් උසස් අධ්‍යාපන කටයුතුවල නියැළී සිටිනවා. දෙවන පුතා උසස් පෙළ අධ්‍යයන කටයුතු වල නියැලී සිටිනවා. තුන්වන පුතා 10 වසරේ විභාගය සඳහා සූදානම් වෙනවා.
මේ කාලයේ ඔබ දවස ගෙවන්නේ කොහොමද…? සමාජයේ අනික් අය වගෙ සාමාන්‍ය විදිහට… මේ කාලයේ හැම දරුවෙක්ම වගේ අපේ පුතාලා දෙන්නත් අන්තර්ජාලයේ සැරිසරමින් දැනුම ලබා ගන්නා අතරේ පරිගණක ක්‍රීඩාවල යෙදෙමින් කාලය ගත කරනවා. මේ වන විට සමහරවිට ඔබ දන්නවා මමත් මේ කාලේ පැතිර යන කොවිඩ් රෝ’ගයට ගො’දුරු වෙලා හිටියා කියලා.
වසංග’ත කාලයේ බොහෝ පවුල් ආරවුල් දකින්නට ලැබෙනවා. ඔව්…එවන් ප්‍රවණතාවයක් ඇති බව සමාජය දෙස විපරමින් බලන විට පෙනී යන කාරණයක්. මෙයට බලපාන හේතු සාධකය ලෙස මා නම් දකින්නේ මෙවැන්නක්. අප දීර්ඝ කාලයක සිට පුරුදු වෙලා තියෙන්නේ දවාලට එළියෙ ඉන්නටත් රෑ කරුවල වැටුණා ම ගෙදර ඉන්නටත්නේ.
පවුලක සියලු සාමාජිකයන් ගත්තාම එකට දවස ගත කරන්නේ ඉතාමත් කෙටි කාලයක්.රැකියා කරන උදවිය නම් උදෙන්ම කාර්යාලට ගොස් අඳුර වැටෙන විට ගෙදරට එනවා.ඊට පස්සේ මොනවා හරි කාලා ටීවී වැඩසටහනකුත් බලලා නින්දට යනවා එතකොට අවදියෙන් හා ගෙදර සිටින්නෙ සීමිත පැය ගණනක් තමයි එකිනෙකා හමුවන්නේ.
ඒ ආකාරයටම දරුවන් සම්බන්ධයෙන්ද ඇත්තේ එවන් තත්ත්වයක්. උදේ පාන්දරින් පාසල් යනවා.පාසල ඇරුණු ගමන් අතිරේක පන්ති සඳහා යනවා. ඔහුන් නිවසට එන්නේ රෑ බෝවෙලා. පාසලේ ගෙදර වැඩ ටික කර ඉතා කෙටි වේලාවකින් ඔහුන් නින්දට යනවා. සෙනසුරාදා ඉරිදා වුණත් අතිරේක පන්ති සඳහා ගෙදරින් පිට වෙලා ඉන්නේ.අර මම මුලින් කිව්ව වගේ වැඩහිටිියන් රැකීරක්ෂාවලට ගියත් සෙනසුරාදා ඉරිදා කුමක් හෝ රාජකාරිමය හෝ පෞද්ගලික හේතූන් මත නිවසින් බැහැරවයි සිටින්නේ.
එහෙම බැලුවාම දවසකට සියළුදෙනා එක්ව කාලය ගත කරන්නේ පැය තුන හතරක්නේ.මේ කාලයේ කිසිම දෙයක් තර්ක විතර්ක කරමින් කතා කරන්නට වෙලාවක් නෑ. රාජකාරි කරන කාර්යාලයේ හෝ වැඩපොලේ කාලය ගත කරන පිරිස් එකිනෙකාට විහිළු තහළු කරමින් දෛනිකව තමන් වෙත පැවරී ඇති රාජකාරිය කටයුතු කරන අතරේ ලබන කෙටි විවේකයකින් තේ එකක් බොමින් හිතට එන ඕනෑම දෙයක් කතා කරමින් කාලෙ ගෙවනවා ඒ අතරට යහලු යෙහෙළියන් අතර සුළු සුළු ඝට්ටන ඇති වුවද ඒවා අනෙක් අයගෙ මැදිහත් වීමෙන් විසදා ගැනීම්ද සිදුවෙනවා.
ඒ ඝට්ටන දුරදිග නො යන්නේ යළි යළි රාජකාරිමය හේතූන් මත එකිනෙකාට කතා කරන්නට සිදුවෙන නිසා පාසල් දරුවන් ගත්තත් ඔවුන්ගේ පීඩනකාරී තත්ත්වයන් හෝ සිතැඟියාවන් මිතුරු මිතුරියන් සමග නිදහසේ බෙදා හදා ගන්නවා. නමුත් නිවසේ දී එලෙස නිදහසේ හැසිරිය නොහැකි යි. මේ තත්ත්වය ගෙදර අඹුසැමියන් දෙදෙනා මෙන්ම පාසල් යන දරුවන්ද නිසි ලෙස අවබෝධ කරගෙන බුද්ධිමත්ව කළමනාකරණය කරගැනීම වැදගත්. ඒ කළමනාකරණයෙන් ගැටුම් අවම කරගන්නට හැකියාව තිබෙනවා.
පාසල් දරුවන් නම්..අ’ඩො… ම’චං.. වැනි වදන් පවසමින් කතා කරනවා. හිතේ තියෙන අදහස් හුවමාරු කර ගන්නවා. කාර්යාලයට හෝ සේවා ස්ථාන වලට යන අයත් එහෙමනේ. ගැහැණු පිරිමි භේදයක් නැතිව විහිළුතහළු කරනවා. මේවා ගෙදරදී කරන්න බෑ. තනියම ඉන්නකොට පීඩනයක් ඇතිවෙනවා
එකනෙකාගෙ සුළු සුළු අඩුපාඩු වැඩියෙන් පේනවා. එනිසයි ගැටුම් ඇති වෙන්නෙ. එය අවබෝධ කරගෙන කටයුතු කළයුතුයි. මහත්තයා හරි නෝනා හරි ජංගම දුරකථනයෙන් කතා කරන විට ඒවා අහගෙන ඉදලා ප්‍රශ්න කරන්න යන්න එපා. මුහුණු පොතෙ දාන දේවල් ගැන ප්‍රශ්න කරමින් තර්ක විතර්ක කරන්න යන්න එපා. වෙනදා වගෙ මිතුරු මිතුරියන් හමු වීමට යාමට, නිදහසේ විහිළු කරන්න ඇවිදින්න යන්න ක්‍රීඩා කරන්න, හිත සැහැල්ලු කරගන්න කිසිවකට මේ කාලයේ ඉඩක් නෑ. ඒවගේම හැමෝටම පුද්ගලිකත්වයක් තියෙනවා.
ඒක අවබෝධ කරගෙන එකිනෙකා කෙරෙහි විශ්වාසයෙන් හා අවබෝධයෙන් කටයුතු කිරීම ගැටුම් අවම කර ගන්න හේතුවක් වෙනවා. පවුල තුළ විශ්වාසය එකිනෙකා කෙරෙහි ඇති ගරුත්වය අද සමාජයෙන් දුරස් වෙලා. අපි තරුණ ජෝඩුවක් ගනිමු. මේ අයගේ හැසිරීම හිතලා බලන්න ඔහුගේ පුද්ගලික වාහනයක ගියත් පොදු ප්‍රවාහන සේවයක ගමන් කළත් පෙම්වතුන් පෙම්වතියන් එකිනෙකාට විහිළු තහළු කරගනිමින් බොහොම සතුටින් ගමන් කරන අයුරු දකින්නට ලැබෙනවා.
අඳින පළඳින දෑ…කන්නට බොන්නට ප්‍රිය දේවල් ගැන විමසමින් අවබෝධයෙන් එකිනෙකා කටයුතු කරනවා ප්‍රේම කරන කාලේ නැත්නම් ආදරය කරන කාලයේ එහෙම කැපවීමෙන් කටයුතු කරන අය විවාහයට ඇතුළු වුණාට පසු ගැටුම් ඇති කරගන්නේ ඇයි ? ආදරේ කරන කාලය තුළදී අපට එකිනෙකා හමුවන්නේ ඉතා කුඩා කාලසීමාවක්. ඒ කාලෙදි එකිනෙකාගේ වැරදි අඩුපාඩු දකින්නට ඇති අවස්ථාව ඉතාමත් අල්පයි. ප්‍රේම කරන කාලෙදි සියලු කටයුතු කරන්නේ අනෙකා සතුටු කරන්නටයි. කොණ්ඩෙ පීරන්නේ ලස්සනට අඳින්නෙ පළඳින්නෙ කලට වෙලාවට වැඩ කරන්නෙ ඒ වෙනුවෙන්.
ඒත් දෙන්නත් එක වහලක් යටට ආවට පස්සෙ එකිනෙකා දකින කාල වේලාව වැඩියි. කරන කියන දේවල්වල අඩුපාඩු දකිනවා වැඩියි. ඉතින් ඒව දකිනකොට ඒවා රුස්සන්නෙ නැති කොට ඒවා ගැන කතාබහ කරමින් එකිනෙකාට චෝදනා කරගනිමින් ඒවා නිවැරදි කරගන්නට උත්සාහ කරනවා. එවන් උත්සාහයේදී තමන්ට හුරු පුරුදු තැන් ඉවත් කරගන්නට අපහසු අය ගැටුම් ඇති කරගන්නවා. ඒකයි මං මුලින්ම කිව්වෙ එකිනෙකාට හුරු පුරුදු පෞද්ගලිකත්වයක් තියෙනවා. එය අවබෝධ කරගෙන එකිනෙකා අවබෝධයෙන් යුතුව කටයුතු කළ යුතුයි කියලා.
එහෙම කටයුතු කළාම ගැටුම් අවම කරගන්න පුළුවන්.
මා මේ කියන්නේ අත්දැකීමෙන්මයි. බලන්න බෞද්ධයන් විදිහට අපි බුදුරජාණන් වහන්සේට කොච්චර ගරු කරනවා ද ?
උන්වහන්සේගේ ධර්මය විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරමින් පිළිම වහන්සේලා නෙළනවා. පන්සල් වෙහෙර හදනවා. මේවා කරන්නේ කවුරුවත් අණ කිරීමෙන් නොවෙයිනේ. අපේ විශ්වාසය, අපේ සද්ධාව නිසයි. ඒ වගේ අපි එකිනෙකා සමග වැඩ කටයුතු කරන විට ඔවුන් කෙරේ විශ්වාසයෙන්.
ඔවුන් කෙරෙහි ගෞරවයකින් කටයුතු කළ යුතුයි. එහෙම වුණාම ගැටුම් අවම කරගන්නට පුළුවන්. ඔබට සිටින්නේ පුතාලම තුන්දෙනෙක් පවතින සමාජ ක්‍රමය තුළ අද පිරිමි දරුවන්ටත් ආරක්ෂාවක් නැති ගානයි.. ඔව්..ඔබ හරි..හැබැයි තාත්තෙක් විදියට මම මගේ දරුවන් විශ්වාස කරනවා. ඔහුන්ට පුද්ගලිකත්වයක් තියෙන බව පිළිගන්නවා. මම ඔවුන්ට නිතරම කියා දෙනවා යමක් සිද්ධ වෙන්නේ යම් හේතුවක් මතයි කියලා. ඒ නිසා හේතුව අයින් කරගත්තාම සිද්ධ වෙන දේ අපට වළක්වාගන්න පුළුවන්. දවසක් මගේ පුතා ඉස්කෝලේ ඇරිලා එද්දි නළල පලාගෙන ආවා. හැබැයි මම ඒ ගැන කලබල වුණේ නැහැ.
මම ඇහැව්වා මොනවා වෙලාද ඔයාගේ නළල තු’වාල වුණේ පුතේ කියලා. පුතා කිව්වේ කවුරු හරි කාට හරි ගහ’පු ගලක් මගේ නළලේ වැ’දුණා කියලා. මම කිව්වා පුතාගෙ නළලට වැදුණේ කවුරු හරි කාට හරි ග’හපු ග’ලක්නේ. ඒක ගැන හිතන්න දෙයක් නෑ කියලා. හැබැයි මම පුතාට කිව්වා, පුතේ මමත් ඉස්කෝලෙ යන කාලෙ යාළුවොත් එක්ක එකතුවෙලා ඔහොම ගල් ගහලා තියෙනවා. අඹ ගස් වලට පොලු ගහලා අඹ ගෙඩි කඩාගෙන කාලා තියෙනවා කියලා.
දවසක් එහෙම අඹ ගහකට ගහපු ගලක් අඹ ගෙඩියක වැ’දිලා ආපස්සට ඇවිල්ල මගේ ඔළුවෙ වැදිලා ඔලුව පැ’ලුන කියලා. හැබැයි මගේ පුතාට සිද්ධවෙලා තියෙන්නේ ඒකෙ අනික් පැත්තනේ කියලා. එතකොට පුතා කිව්වා නෑ අප්පච්චි මම ගහපු ගලක් තමයි ආපහු ඇවිල්ලා මගේ නළලේ වැ’දුණේ කියලා. එදා මගේ දරුවාට සත්‍ය වටහා දෙන්න මට අවස්ථාව ලැබුණා. හැබැයි මම ඔලුව පලා ගත්තෙ කොහොමද කියලා දරුවත් එක්ක තර්ක කරන්න ගියානම් දරුවා ඇත්ත කියන්නේ නෑ..
මම නිතරම මගේ දරුවොත් එක්ක කතාබහ කරලා එයාලට යමක් කියලා දෙන්නේ මගේ අත්දැකීම් එක්ක. ඒ නිසා ඔවුන් ඔවුන්ගේ හිතේ තියෙන හැම දෙයක්ම අපිත් එක්ක කියනවා. දරුවොත් එක්ක කටයුතු කළ යුත්තේ කොහොමද කියලා. හැම අම්මා කෙනෙක්ම හැම තාත්තා කෙනෙක්ම දැනගන්න ඕන.දරුවන්ට ගහලා බැනලා හදන්න බෑ කියලයි මට හිතෙන්නේ. දරුවන් ව බය කරලා ඔවුන් සමග කටයුතු කරන්න බෑ. දරුවොත් එක්ක කටයුතු කළ යුත්තේ ආදරෙන් මිත්‍රත්වයෙන්.එහෙම වුණාම අපට හරි ලේසියෙන් ඔවුන්ව ආරක්ෂා කරගන්න පුළුවන්. ඒකට ගැහැණු ළමයි පිරිමි ළමයි කියලා බේදයක් නෑ.
අනෙක් කාරණය දෙමාපියන් බලකරනවා දරුවන්ට ඉගෙන ගන්න කියලා. පාඩම් කරන්න කියලා. දරුවන්ට කිසි දෙයක් බලෙන් කරන්න කියන්න බෑ. මම යම්යම් පුද්ගලයන් පෙන්නලා පුතේ අර බලන්න අර මනුස්සයා දිහා. එයාට ඊට වැඩිය හොඳ ජීවිතයක් ලබා ගන්න බැරි වුණේ ඇයි. මගේ යාළුවො ඉන්නවා බස් කොන්දොස්තරවරු, පොලිස් කොස්තාපල්වරු, රියදුරන්, ගුරුවරු. අන්න එහෙම අය ගැන මම මගේ පුතාලත් එක්ක කතා කරනවා. එයාලා ඉගෙන ගත්තෙත් අප්පච්චිත් එක්ක එකට. අද අප්පච්චි ඉන්න තැන පේනවනේ කියලා. එතකොට දරුවො එදා මම වගේ මහන්සි වෙලා පාඩම් කරනවා. ඔබටත් කොවිඩ් හැදුනානේ කොහොමද ඒ අත්දැකීම…? ඔව්. ඒක වචනයෙන් කියලා නිම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.
ඇත්තටම කොවිඩ් මාරාන්තිකයි. මේ වෙන කොට සමාජයේ ඉහළ තලවල ඉන්න බොහෝ දෙනෙකුට ජදඩසා හැදුනා. ඒ විතරක් නෙමෙයි ඔවුන් මියගියා. මිය ගිය අතර විශේෂඥ වෛද්‍යවරු, මංගල සමරවීර ඇමතිතුමා වැනි දේශපාලකයො, සිරස හිමිකරු මහේන්ද්‍රන් මහරාජා වැනි ව්‍යාපාරිකයන් කොවිඩ් නිසා මිය ගියා. ඔවුන් ට කළ හැකිවතිබූ දෑ බොහෝයි.
එවන් මිනිසුන් මිය ගියාම අපි වැනි අය ගැන කවර කතාද ?
ඇත්තටම මට මරණ බය දැනුණා. මං ම’ර’ණයට සූදානම් වුණා. මගේ මල්ලිලා දෙන්නා කොළඹින් බැහැරව ඉන්නේ. ඒත් මගේ ඥාති මල්ලි වෙන කෙනෙක්ට කතා කරලා කිව්වා මගේ බැංකු තියෙන්නෙ මෙතැන. මම ණය ගෙවිය යුතු තැන් මේවා. මම රක්ෂණය වෙලා තියෙන්නේ මෙතැන. ගෙදර වියදමට තියෙන මුදල් තියෙන්නෙ මෙතැන. දරුවන් වෙනුවෙන් කරන්න ඕන දේවල් මේවා. මේ වැඩ ටික කරගන්න අක්කට උදව්වෙන්න කියලා. ඔහු මටත් වඩා බය වුණා. නිතරම විශේෂඥ වෛද්‍යවරුන් සමග කතා කරමින් ඒ කාලය ගත කළා. නමුත් කවුරු කොහොම ළඟ හිටියත් මට ම’රණ බය දැනුණා.
මේ කාලයේ ගෙදර අයගෙන් ලැබුණේ මොන වගේ සහයෝගයක්ද…?
ඇත්තටම කොවිඩ් හැදිල මම හිටියේ ගෙදර. අපේ ගෙදර තට්ටු දෙකක්. පහල තට්ටුවේ කාමරයක් තිබුණා. ඒකට වෙනම බාත්රූම් එකකුත් තියෙනවා. මට කොවිඩ් හැදුණා කියලා දැනගත්තහම මම ඒ කාමරයට ගියා. මගේ තනිය මකාගන්න හයියෙන් සිංදු කිව්වා. කෝ පොඩි අයියා එන්න මට බලන්න කිවිවාම පොඩි පුතා දුවගෙන ඇවිත් එළියේ ඉදලා අත් වනලා හිනා වෙලා යනවා. එහෙම වරින් වර පුතාලාට කතා කරලා එයාගේ මුහුණ බැලුවා.
නෝනා එක්ක වෙනදාට වැඩියෙන් දුරකථනයෙන් කතා කළා. එළියෙ මේසයක් තියලා කෑම එක තියලා නෝනා කියනවා කෑම එක තියෙනවා කන්න කියලා. මෙන්න තේ තිබ්බා තේ බොන්න කියලා. මම ඒවා අරගෙන ඇවිත් කාල බීල සබන් දාලා කෝප්ප පිඟන් හෝදලා ආපහු ඒවා එළියෙන් තියල තියෙනවා. ඒ කාලය වචනෙන් කියලා නිම කරන්න පුළුවන් කාලයක් නෙමෙයි.
ඒ නිසා ඔබ වඩාත් පරිස්සම් වන්න. අද මගේ ජීවිතේ කොවිඩ් මාරයාට ඩැහැ ගන්න බැරි වුණත් අතුරු ආබාධයක් විදියට වචන දෙක තුනක් කතා කරනකොට කැස්සක් හැදෙනවා මේ කැස්ස කවදා හොඳ වෙයිද කියලා කියන්න බෑ. නැවත වතාවක් මං ඔබට කියන්නේ වඩාත් පරිස්සම් වෙන්න කියලා. කොවිඩ් රෝගය හොඳ වුණත් එයින් ඇතිවෙන අතුරු ආබාධ ගැන තාම නිශ්චය කරන්න කාටවත් බෑ.
ඔබ දරුවන්ගේ ජීවිත සැලසුම් කරනවද…?
මමවත් නෝනවත් කිසිම දවසක දරුවන්ට කිසිම දේකට බලපෑම් කරන්නේ නැහැ. ඒ කියන්නේ මෙහෙයවීම් කරන්නේ නෑ.මම අර මුලින් කිව්ව වගේ මේ සමාජයේ චරිත පෙන්නලා ඔවුන් ගැන කතා කරනවා. සමහර පුද්ගලයන්ගේ ජීවිත ගැන කතා කරනවා. උගත් දේශපාලනඥයන්ට මේ සමාජයේ තියෙන පිළිගැනීම අපි කතා බහ කරනවා. ක්‍රීඩකයෝ ගැනත් එහෙමයි. එතකොට දරුවෝ දන්නවා අධ්‍යාපනයෙ තියෙන වැදගත්කම කොතෙක් ද කියලා.
සමහර අවස්ථාවල අහල තියෙනවා ෆයිලට් කෙනෙක් වෙන්න කැමතිද ?ශල්‍ය වෛද්‍යවරයෙක් වෙන්න කැමතිද ?
ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් හදා ගන්න විදිහ. එහෙම නැතිව කිසිම අවස්ථාවක කිසිම දේකට බල කරන්නේ නෑ. අපි නිතරම කිව්වේ පරිසරයත් එක්ක, ගහකොළ, සතා සීපාවන් එක්ක ජීවත් වෙන්න කියලා. හැබැයි වෙලාවකට අද පවතින තත්ත්වය අනුව දරුවන් පරිගණක ක්‍රීඩාවක් කරමින් ගේ ඇතුළට වෙලා ඉන්නව නම් ඒ ඇති කියලා නොහිතෙනවාම නොවෙයි. ඔබට ඉන්නේ පුතාලා තුන් දෙනෙක්.
දුවකගෙ අඩුව දැනිලා නැද්ද…?
ඉස්සර ඉඳලම අපි සල්ලි ගොඩ ගහගෙන ඉන්න උත්සාහ කළේ නෑ. පුළු පුළුවන් වෙලාවට සාප්පු සවාරි එහෙම ගිහිල්ලා ඇඳුම් කැඩුම් මිලදී ගන්නවා. ලස්සන ලස්සන ගවුම් පොඩි දකිද්දී අපිටත් දුවෙක් හිටියා නම් ලස්සනට අන්දලා එයාගෙ හැඩ බලන්න තිබුණා නේද කියලා හිතිලා තියෙනවා. ඒ ගැන නෝනයි මමයි කතා කරලත් තියෙනවා. කාලයත් එක්ක ඒක ලොකුවට දැනුනේ නෑ. නමුත් අපි හොඳ පුතාලා තුන් දෙනෙක් හදලා තියෙනවා. ඒ හොඳ පුතාලා තුන් දෙනා කවදා හරි අපේ ගෙදරට හොඳ දුවලා තුන් දෙනෙක් එක්කං එයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා.
සුගත් ශාන්ත මොරගහකුඹුර
නවලිය