බැංකුවෙන් හරි ප්‍රසිද්ධ ආයතනයකින් හරි කියලා මෙහෙම කිව්වොත් ප්‍රවේශම්වන්න - පොලීසියෙන් විශේෂ නිවේදනයක්
රටේ ප්‍රමුඛ පෙළේ සහ විශ්වාසනීය ආයතනවල නාමයන් අවභාවිත කරමින් අන්තර්ජාලය සහ නවීන තාක්ෂණය ක්‍රම ඔස්සේ වංචාකරුවන් ක්‍රියාත්මක වන බවට නිරීක්ෂණය වී ඇති බව පොලිසිය පවසයි.
ඒ අනුව මේ පිළිබඳව නිරන්තරයෙන් ජනතාව දැනුවත් කළද මෙම වංචාවන් පිළිබඳ ලැබෙන පැමිණිලි සංඛ්‍යාව දෛනිකව ඉහළ යමින් පවතින බව පොලිසිය වාර්තා කර ඇත.
එබැවින් වංචාකරුවන් මහජනතාව මුලා කිරීමට, ප්‍රසිද්ධ ආයතනයක නියෝජිතයන් වශයෙන් පෙනී සිටිමින් අදාළ ආයතනයේ සේවාවන් ලබා ගැනීම වෙනුවෙන් විශේෂ ජංගම යෙදවුමක් (App) ස්ථාපනය කළ යුතු බවට ඔබව පොළඹවනු ඇති බවට පොලිසිය අනතුරු අඟවයි.
අප්‍රේල් පාසල් නිවාඩුවෙන් පසුව රජයෙන් පාසල් ළමුන් වෙනුවෙන් විශේෂ සැලැස්මක් - පාසල් ළමුන්ට දෙන්න යන දේ මෙන්න
එම යෙදවුම ස්ථාපනය කිරීමට සහාය වන බව සඳහන් කරමින් ඔබගේ දුරකථන තිරය ඔවුන් හා හුවමාරු කර ගන්නා මෙන් (Screen Share) උපදෙස් ලබා දෙන බවද වාර්තා වේ.
එහිදී සිදු වනුයේ, ජංගම දුරකථන තිරය හුවමාරු කර ගැනීම ඔස්සේ ඔබගේ දුරකථනයට දුරස්ථව ප්‍රවේශ වීමේ හැකියාව (Remote Access) වංචා කරුවන්ට ලැබීම බවත්, එමඟින් ඔබගේ දුරකථනයේ ඇති බැංකු යෙදවුම් (Online Banking Apps) ඔස්සේ ගිණුම්වල ඇති මුදල් ඉතා සූක්ෂම ආකාරයට වෙනත් ගිණුම්වලට බැර කර ගැනීමට ඔවුන් කටයුතු සිදු කරන බවත් පොලිසිය වැඩිදුරටත් පවසයි.
මේ අතර පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මහජනයාට පවතින තාක්ෂණික කරුණු පිළිබඳ අනවබෝධය මෙවැනි වංචාවලට හසු වීමට ප්‍රධාන හේතුවක් වී ඇති බවට පෙනී ගොස් ඇති බවයි.
එමෙන්ම මෙවැනි වංචාවලින් ආරක්ෂා වීම සඳහා පහත සඳහන් කරුණු පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසද දැනුම් දෙයි.
* සමාජ මාධ්‍ය ඔස්සේ "විවිධ ආදායම් මාර්ග" හෝ "වැඩි ලාභ ලබා දෙන ආයෝජන" ලෙස පළවන දැන්වීම් පිළිබඳව අතිශයින්ම සැලකිලිමත් විය යුතු අතර, මුල් අවස්ථාවේදී සුළු ලාභයක් ලබා දී විශ්වාසය ගොඩනගාගනිමින් පසුව විශාල මුදල් ප්‍රමාණයක් වංචා කිරීම මොවුන්ගේ ස්වභාවයයි.
* බැංකු ගිණුම් අංක, මුරපද (Passwords), හෝ ජංගම දුරකථනයට ලැබෙන OTP කේත කිසිදු හේතුවක් මත බාහිර පුද්ගලයන් සමඟ හුවමාරු කර නොගත යුතු අතර, කිසිදු පිළිගත් බැංකුවක් හෝ ආයතනයක් පාරිභෝගිකයන්ගෙන් දුරකථනය හරහා එවැනි තොරතුරු විමසීම් නොකරන බවට දැනුවත් විය යුතුයි.
* නාඳුනන පුද්ගලයන් විසින් යොමු කරනු ලබන සබැඳි (Links) මත ක්ලික් කිරීමෙන් හෝ ඔවුන් ලබාදෙන යෙදවුම් (Apps) ස්ථාපනය කිරීම නොකල යුතු අතර, විශේෂයෙන්ම ඔබගේ දත්ත වෙත ප්‍රවේශ වීමට අවසර (Access Permissions) ඉල්ලා සිටින විට එය ලබා දීමට පෙර ඉතා සැලකිලිමත් විය යුතුයි.
* එබැවින් නාඳුනන පුද්ගලයන්ගේ උපදෙස් මත ඔබගේ ජංගම දුරකථන තිරය හුවමාරු (Screen Share) කිරීමෙන් ඔබගේ දුරකථන තිරය ඔවුන්ට පෙන්වීමෙන් වැළකිය යුතුයි.
* කිසියම් හේතුවක් මත මෙවැනි මූල්‍ය වංචාවකට ඔබ හසුවී නම් පළමුව අදාළ බැංකුව හෝ මුල්‍ය ආයතනය දැනුවත් කර ඔබගේ ගිණුම් ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතුයි.