සියල්ලන් හඩවා බදුල්ල අනතුරින් මියගිය උමයංගනා තැබූ අවසන් සටහන

By Sewvandhi Nov 02, 2024 04:22 PM GMT
Report

ඊයේ (01) බදුල්ල දුන්හිදදී සිදුවූ බස් රථ අනතුරින් පසු එම බස් රථයේ සිටි සිසුන් ඇතුළු 41දෙනෙකු තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරිණි.

ඔවුන් අතරින් 39 දෙනෙකු තවදුරටත් බදුල්ල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. අනතුරින් 23 හැවිරිදි සිසුවියන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් විණි.

නිවිතිගල, තොලබුගමුව, පහළ කන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි ඉසුරි උමයංගනා සහ කුරුණෑගල, හුණුපොලගෙදර, අඹකොටේ ප්‍රදේශයේ පදිංචිව සිටි පුබුදි හෙට්ටිමුල්ල යන සිසුවියන් දෙදෙනායි මෙලෙස මියගොස් ඇත්තේ.

 බස් අනතුරින් හිසට සිදුවූ බරපතළ හානි මරණයට පත්වීමට හේතුව වූ බවයි, ඔවුන්ගේ මෘතදේහ සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

මේ අතර මියගිය එක් සිසුවියක් වන ඉසුරි උමයංගනා ඊයේ (01) දිනට යෙදී තිබූ පියාගේ උපන්දිනය වෙනුවෙන් වට්ස්ඇප් මගින් සුබපැතුම් පණිවිඩයක් ලියා තිබුණි.

උදෑසනම අවදිව සිටි ඇය තම පියාණන්ට වට්ස්ඇප් ඔස්සේ සුබපැතුම් එක්කර තිබුණේ, අලුයම පහයි තුනටයි. තම පියාගේ උපන් දිනයදා තමන්ට ජීවිතය හැර යන්නට සිදුවේදැයි ඇය කිසිවිටෙකත් නොසිතන්නට ඇති.

සරසවි ක්ෂේත්‍ර සංචාරය සඳහා සූදානම්ව සිටි ඇය එදින අලුයම තම පියාණන්ට සුබපැතුම් එක්කරන්නට ද අමතක කර නොතිබුණි.

"ජීවිතේ ගැන මේ තරම් දේ දන්න හැටි පුදුමයි... ආදරේ හංගලා දෙන්නේ පියවරුමයි ... සුබ උපන්දිනයක් වේවා තාත්තේ"

යනුවෙන් සිය ආදරණීය පියාණන් වෙනුවෙන් ඉසුරි සටහනක් යොදා තිබුණි. ගැහැණු දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දියණිය වූයේ ඉසුරියි.

මේ අතර සිද්ධියෙන් මියගිය සිසුවියන් දෙදෙනාගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණවලින් පසුව ඥාතීන්ට භාරදී තිබේ.