සබරේ නව වෛද්‍ය පීඨ සංකීර්ණය සිසු අයිතියට
සබරගමුව විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨය වෙනුවෙන් අලුතින් නිර්මාණය කරන ලද දැවැන්ත පීඨ සංකීර්ණය අද (04) දින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිසු අයිතියට පත් කරනු ලැබීය.
දැනට මෙම වෛද්‍ය පීඨය තුළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 750කට ආසන්න පිරිසක් වෛද්‍ය උපාධිය හදාරමින් සිටින අතර, වාර්ෂිකව තවත් සිසුන් 160කට ආසන්න සංඛ්‍යාවක් මෙහි වෛද්‍ය අධ්‍යාපනය සඳහා අලුතින් ඇතුළත් කරගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
ETF මුදල් ගෙවීමේ වෙනසක් - සේවක අර්ථසාධක මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් - ආයතනයේ සේවකයින් 15 කට වැඩිනම් ඉස්සරහට මේකයි වෙන්නේ
අක්කර 20ක සශ්‍රීක භූමි භාගයක විහිදී පවතින මෙම නවීන වෛද්‍ය පීඨ සංකීර්ණය ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා රජය රුපියල් මිලියන 2876ක මූල්‍ය දායකත්වයක් සපයා ඇති අතර, සෞදි අරාබි රාජ්‍යය විසින් රුපියල් බිලියන 15කට ආසන්න අතිවිශාල ආධාර මුදලක් මේ සඳහා පරිත්‍යාග කර තිබේ.
භෞතික පහසුකම් අතින් ඉතා ඉහළ මට්ටමක පවතින මෙම නව පරිශ්‍රය තුළ එකවර සිසුන් 500කට නවාතැන් ගත හැකි නේවාසිකාගාර ගොඩනැගිල්ලක්, ආසන 1060කින් සමන්විත නවීන ශ්‍රවණාගාරයක් සහ ප්‍රධාන පරිපාලන අංශයක් ස්ථාපිත කර ඇත.
ශිෂ්‍ය දේශන කටයුතු සඳහාම මෙහි සමස්ත දේශන ශාලා 6ක් වෙන් කර ඇති අතර, ඒවා ආසන 250 බැගින් වූ ශාලා දෙකක්, ආසන 200ක ශාලාවක් සහ ආසන 160 බැගින් වූ දේශන ශාලා තුනකින් සමන්විතය. මීට අමතරව, පෙර සායනික මධ්‍යස්ථානයක්, නවීන පුස්තකාලයක්, ආපනශාලා මෙන්ම කාර්ය මණ්ඩල නිල නිවාස ද මෙම සංකීර්ණයට ඇතුළත් වේ.
මේ අතර, මෙම වෛද්‍ය පීඨ සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව රත්නපුර ශික්ෂණ රෝහල කේන්ද්‍ර කරගනිමින් මහල් නවයකින් (09) යුත් සුවිශේෂී මහාචාර්ය ඒකකයක් ද මේ වන විට ඉදිවෙමින් පවතී.
එය අංගසම්පූර්ණ විද්‍යාගාර, පර්යේෂණ රසායනාගාර සහ වෛද්‍ය සිසුන්ට අත්‍යවශ්‍ය සායනික පුහුණු පහසුකම් රැසකින් සමන්විත වනු ඇත.