මැද පෙරදිග යළි ගිනියම් වෙයි - කුවේටයට සහ බහරේනයට යළිත් ප්‍රහාර
මැදපෙරදිග උණුසුම් තත්ත්වය තවදුරටත් උග්‍ර කරමින් ඉරානය මඟින් කුවේටයට සහ බහරේනයට නැවත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වේ. ඒ අනුව එම ප්‍රහාරවලින් බොහොමයක් අමෙරිකානු සහ ගල්ෆ් කලාපීය ගුවන් ආරක්ෂක පද්ධති මඟින් විනාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස අමෙරිකානු හමුදා ඉරානයේ වෙරළබඩ සහ යුදමය ඉලක්ක කිහිපයකට ප්‍රහාර එල්ල කර ඇති බව ද සඳහන්.
මේ අතර එක්සත් ජනපද හමුදාව සඳහන් කර ඇත්තේ ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කලාපයේ සතුරු කඳවුරුවලට පහර දුන් බව පැවසීමෙන් අනතුරුව කුවේට් සහ බහරේනය වෙත ඉරානය එල්ල කළ මිසයිල හතක් අල්ලා ගත් බවයි.
එමෙන්ම මීට පෙර, එක්සත් ජනපදය සඳහන් කළේ තම හමුදා හෝමූස් සමුද්‍ර සන්ධිය දෙසට දියත් කරන ලද ඉරාන ඩ්‍රෝන යානා හතරක් වෙඩි තබා බිම දැමූ බවත්, ඉරානයේ දකුණු වෙරළ තීරයේ කෙෂ්ම් දූපතේ සහ ගොරුක්හි ඉරාන වෙරළබඩ නිරීක්ෂණ රේඩාර් ස්ථානවලට පහර දුන් බවත්ය.