හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගේ අවි ආයුධ ජාවාරමක් පිළිබඳ තොරතුරු හෙළිවේ
පාකිස්තානයේ සිට අවි ආයුධ හා හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කිරීමේ සිද්ධියකට සම්බන්ධ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් පිළිබඳව සිදුකරන විමර්ශන සඳහා ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය, ශ්‍රී ලංකා රජයේ සහාය ලබාගැනීමට තීරණය කර තිබේ.
අන්‍යෝන්‍ය නීති ආධාර ගිවිසුම යටතේ අදාළ සැකකරුවන් පිළිබඳව තොරතුරු ලබාගැනීම සඳහා එම ඒජන්සිය විසින් ශ්‍රී ලංකා රජයෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. පසුගිය මාර්තු මාසයේදී පාකිස්තානයේ සිට ශ්‍රී ලංකාවට නීත්විරෝධි ලෙස ගෙන එමින් තිබූ අවි ආයුධ හා හෙරොයින් සහිත ධීවර යාත්‍රාවක් සමග ශ්‍රී ලාංකිකයින් 06 දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී ජාවාරමට සම්බන්ධ හිටපු එල්.ටී.ටී.ඊ බුද්ධි අංශ සාමාජිකයෙකු සහ තවත් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි. සබේසන් නමැති එම හිටපු එල්.ටී.ටී.ඊ බුද්ධි අංශ සාමාජිකයා එල්.ටී.ටී.ඊය යළි නගා සිටුවීම සඳහා එම ජාවාරම් හරහා උපයාගන්නා මුදල් යොදවා ඇති බවත් එම ජාවාරමට තවත් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් පිරිසක් සම්බන්ධ බවටත් තොරතුරු අනාවරණය වූ බව ඉන්දීය විමර්ශන නිලධාරීන් සඳහන් කර තිබුණි.
ඒ අනුව, මේ වන විට ශ්‍රී ලංකාවේ රැඳී සිටින බවට තොරතුරු වාර්තා වී ඇති එම සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාදෙන ලෙස ඉන්දීය ජාතික විමර්ශන ඒකකය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් සිදුකර තිබේ. එ සම්බන්ධයෙන් සිදුකළ විමසීමක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊට අදාළ කටයුතු සිදුකරනු ඇති බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |