යුද්දේ මැද්දේ ගේම ගහන ඉන්දියාව - දෙපැත්තම තරහ නොකර නැව් දෙකක් ගෙන්න ගනී
විදෙස් මාධ්‍ය පවසන්නේ මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නාවික ගමනාගමනය සම්පූර්ණයෙන්ම පාහේ ඇණහිට ඇති පසුබිමක, ඉන්දීය ධජය සහිත ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් 'LPG' ප්‍රවාහන නෞකා දෙකක් එම තීරණාත්මක මුහුදු මාර්ගය හරහා යාත්‍රා කර ඇති බව නෞකා නිරීක්ෂණ දත්ත අනාවරණය කර ඇති බවයි.
MarineTraffic සහ ලන්ඩන් කොටස් වෙළඳපොළ සමූහයේ (LSEG) දත්තවලට අනුව, 'Pine Gas' නෞකාව මුලින්ම සමුද්‍ර සන්ධිය හරහා ගමන් කර ඇති අතර 'Jag Vasant' නෞකාව එයට පසුපසින් ගමන් කර ඇති බව වාර්තා වේ.
මෙම නෞකා ආරක්ෂක පියවරක් ලෙස "ඉන්දීය නෞකාවක් සහ කාර්ය මණ්ඩලය" (India ship and crew) යන පණිවිඩය විකාශනය කරමින් යාත්‍රා කර ඇති බව වාර්තා වන අතර යුද්ධයට සම්බන්ධ නොවන මධ්‍යස්ථ රටක නෞකා බව හැඟවීම මෙහි අරමුණ බව සඳහන් වේ.
අමෙරිකානු-ඊශ්‍රායල සහ ඉරාන ගැටුම හේතුවෙන් නෞකා සිය ගණනක් තවමත් පර්සියානු ගල්ෆ් කලාපය තුළ සිරවී පවතින අතර දහස් සංඛ්‍යාත නාවික පිරිසක් ආහාර සහ ආරක්ෂාව පිළිබඳ අවිනීශ්චිතතාවයකින් යුතුව මුහුද මැද කොටු වී සිටියි.
ඉන්දියාවේ බලශක්ති අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා මෙම ගෑස් නැව් ගෙන්වා ගැනීම අතිශය තීරණාත්මක වී ඇති අතර, ඉන්දීය රජය සිය නාවික හමුදාව හරහා මෙම නෞකාවලට අවශ්‍ය ආරක්ෂාව සපයන බව පෙනි යයි.
මෙලෙස ඉන්දීය නෞකා ගමන් කිරීම මගින් පෙනී යන්නේ ඉරානය සහ අමෙරිකාව අතර පවතින ගැටුම මධ්‍යයේ වුවද, ඇතැම් මධ්‍යස්ථ මත දරණ රටවලට සිය අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කිරීමට යම් ඉඩක් ලැබී ඇති බවයි. කෙසේ වෙතත්, සාමාන්‍ය වාණිජ නෞකා සඳහා මෙම මාර්ගය තවමත් අතිශය අවදානම් සහගත මට්ටමක පවතී.