යුද්දය කල් දැමීමට ට්‍රම්ප් නිවේදනය කරයි - සටනින් පසුබසින ඇමරිකාව
මැදපෙරදිග පවතින සතුරුකම් "සම්පූර්ණයෙන්ම සහ සහමුලින්ම විසඳා ගැනීම" (Complete and total resolution) සම්බන්ධයෙන් ඉරානය සමඟ "ඵලදායී සාකච්ඡා" පවත්වා ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.
මෙම සාකච්ඡාවල ප්‍රගතිය සලකා බලා, ඉරාන බලශක්ති පද්ධතියට එල්ල කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාර දින පහක කාලයකට කල් තැබීමට ඔහු නියෝග කර ඇත. ඔහු පවසා ඇත්තේ ඉරානයේ විදුලි බලාගාර සහ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් දියත් කිරීමට සැලසුම් කර තිබූ සියලුම හමුදා ප්‍රහාර මෙලෙස දින පහක කාලයකට කල් දමන බවයි.
ධවල මන්දිරයේ සිට විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, දැනට ක්‍රියාත්මක වෙමින් පවතින රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සහ හමුවීම්වල ප්‍රගතිය සලකා බලා මෙම තීරණය ගත් බවයි.
මැදපෙරදිග කලාපයේ පවතින යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් පසුගිය දින දෙකක කාලය තුළ ඉරානය සමඟ "ඉතා යහපත් සහ ඵලදායී" සාකච්ඡා පැවැත්වූ බවද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
තම 'Truth Social' සමාජ මාධ්‍ය පිටුවෙහි විශේෂ සටහනක් තබමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, මෙම සාකච්ඡා ඉතා ගැඹුරු, විස්තරාත්මක මෙන්ම නිර්මාණාත්මක මට්ටමක පැවැති බවයි. එමෙන්ම මෙම සාකච්ඡා මාලාව ඉදිරි සතිය පුරාම පවත්වන බව ද ඔහු එහි සඳහන් කර ඇත.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාර කල් තැබීමේ තීරණය ඉදිරියට පැවැත්වීමට නියමිත රැස්වීම් සහ සාකච්ඡාවල ප්‍රගතිය මත රඳා පවතින බව ද ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.