ලොවම බලන් සිටි උද්වේගකාරී ඉන්දියා-පාකිස්තාන තරගයට එද්දි මේවා ගේන්න තහනම් - පොලිසියෙන් අනතුරු අඟවයි
කොළඹ ප්‍රේමදාස ක්‍රීඩාංගනය තුළ සංගීත භාණ්ඩ, හිස්වැසුම්, ජැකට්, වීදුරු බෝතල්, විශාල ගමන් බෑග්, මධ්‍යසාර පාන, පිහි, තියුණු වස්තූන්, ඩ්‍රෝන යානා සහ ඉලෙක්ට්‍රොනික උපකරණ ඇතුළු තහනම් ද්‍රව්‍ය සම්බන්ධයෙන් ශුන්‍ය ඉවසීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට කොළඹ පොලිසිය තීරණය කර ඇත.
ඒ අනුව සියලුම පිවිසුම් ස්ථානවල දැඩි ආරක්ෂක පියවරයන් ක්‍රියාත්මක වන අතර සෑම නරඹන්නෙකුම CCTV නිරීක්ෂණ ඔස්සේ ශරීර පරීක්ෂාවන්ට සහ නිරීක්ෂණයට භාජනය වේ.
දේශීය වේලාවෙන් රාත්‍රී 7:00 ට ආරම්භ වීමට නියමිත මෙම තරගය නැරඹීමට පූර්ණ ධාරිතාවයකින් යුත් ප්‍රේක්ෂක පිරිසක් පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වේ.
එමෙන්ම ක්‍රීඩාංගනය සහ ඒ අවට නිත්‍ය පොලිස් නිලධාරීන් 1,500 ක් සහ රථවාහන පොලිස් නිලධාරීන් 600 ක් ඇතුළුව නිලධාරීන් දෙදහසකට අධික සංඛ්‍යාවක් යොදවන බව වාර්තා වේ. එසේම නිල ඇඳුම් ඇඳගත් නිලධාරීන්ට අමතරව, සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් සහ බුද්ධි අංශ නිලධාරීන් සෙනඟ නිරීක්ෂණය කරනු ඇත.
මේ අතර විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් මහතා කියා සිටියේ මහජන ආරක්ෂාව සහ සුමට රථවාහන ප්‍රවාහය සහතික කිරීමට පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ මෙම කටයුතු ක්‍රියාත්මක කරන බවයි.
එමෙන්ම කණ්ඩායම් දෙකෙහිම ආධාරකරුවන්ගේ විශාල පැමිණීම කළමනාකරණය කිරීම වෙනුවෙන් කොළඹ රථවාහන අංශය විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා. එබැවින් ග්‍රෑන්ඩ්පාස් පාර, සෙබස්තියන් ඇළ පාර සහ ඛෙත්තාරාම පාර ඇතුළු ක්‍රීඩාංගනය වටා ඇති ප්‍රධාන මාර්ගවලට ප්‍රවේශය සීමිත වේ. තවද ක්‍රීඩාංගනය අසල සාමාන්‍ය වාහන නැවැත්වීමේ පහසුකම් නොමැති අතර, ඒ වෙනුවට පැරණි MOD රථගාලෙන් සහ පෝට් සිටි රථගාලෙන් පාර්ක්-ඇන්ඩ්-රයිඩ් ෂටල් සේවා ක්‍රියාත්මක බව සඳහන්.
එමෙන්ම පදිකයින්ගේ ආරක්ෂාවට ප්‍රමුඛතාවය දීමට ස්ථානය අවට මාර්ග කිහිපයක තාවකාලික මාර්ග වසා දැමීම සහ ප්‍රවේශය සීමා කිරීම ද පොලිසිය නිවේදනය කර ඇත. ඒ සඳහා විල්සන් පෙරේරා මාවත (ග්‍රෑන්ඩ්පාස් පාර), බබාපුල්ලේ මාවතේ කොටස් සහ මාලිගාවත්ත පාර ඇතුළත්.
එමෙන්ම විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් රාජකාරියේ නියුතු නිලධාරීන් විසින් නිකුත් කරන ලද රථවාහන උපදෙස් අනුගමනය කරන ලෙසත් මෝටර් රථ හිමියන්ට උපදෙස් දී ඇත. ඊට අමතරව වූට්ලර් මහජනතාවගෙන් ඉල්ලා සිටියේ ජාත්‍යන්තර තරඟාවලිය ජාතික අභිමානයට කරුණක් බව පවසමින් වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසයි.
එමෙන්ම ඕනෑම බාධාවක් සම්බන්ධයෙන් නීතියට අනුව දැඩි ලෙස කටයුතු කරන බවටත් ඔහු මෙහිදී අනතුරු අඟවා ඇත.