ඉන්දියාවයි කැනඩාවයි ප්‍රසිද්ධියේම ගැටෙයි

By Sewvandhi Sep 19, 2023 11:26 AM GMT
Report

ඉන්දීය රජය, කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා හිදී වෙඩි තබා සික් නායකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කැනේඩියානු අගමැති ජස්ටින් ටෘෘඩෝ ප්‍රකාශ කරයි.

කැනේඩියානු ඔත්තු සේවා සතුව මෙම ඝාතනයට ඉන්දියාව සම්බන්ධ බවට විශ්වසනීය සාක්ෂි පවතින බව ඔහු වැඩිදුරටත් පවසයි.

පසුගිය ජූනි මස 18 වනදා, සික් නායකයෙකු ලෙස ප්‍රසිද්ධ 45 හැවිරිදි හර්දීප් සින්ග් නිජ්ජාර්, සික් දෙවොලක් අසලදී ඝාතනයට ලක්වුණේය.

අගමැති ටෘෘඩෝ චෝදනා කළේ, කැනේඩියානු පුරවැසියෙක්ව කැනේඩියානු භූමියේදීම ඝාතනය කිරීම මගින් ඉන්දියාව තම රටේ ස්වෛරීත්වය උල්ලංඝනය කර ඇති බවයි.

නිදහස් භාෂණයට සහ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවැත්මට ද ඉන් බාධා එල්ලවන බව ඔහු පෙන්වා දෙයි. පසුගියදා ඉන්දියාවේදී පැවැත්වුණු G20 සමුළුව අතරතුර ද අගමැති නරේන්ද්‍ර මෝදි හා ටෘෘඩෝ අතර මේ සම්බන්ධයෙන් උණුසුම් සංවාදයක් මතුව තිබුණි.

එමෙන්ම ඉන්දීය රාජ්‍යතාන්ත්‍රික නිලධාරී පවන් කුමාර් රායි සිය රටින් නෙරපා හැරීමටත් කැනඩාව පියවර ගත්තේ අදාළ සිද්ධිය මුල්කරගනිමිනි. කෙසේ නමුත් එල්ල වන චෝදනා ඉන්දීය රජය තරයේ ප්‍රතික්ෂේප කරයි.

ඉන්දියාව තුළ සික්වරුන්ට "ඛාලිස්ථාන්" නමින් ස්වාධීන බලතල අවශ්‍ය බවට බෙදුම්වාදී මතයක් පවතින අතර නිජ්ජාර් එම මතය වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයෙක් ලෙස සැලකෙයි.

ඉන්දීය රජය චෝදනා කරන්නේ නිජ්ජාර් යනු ත්‍රස්තවාදියෙක් බවයි. මේ අතර සිය තානාපති නිලධාරියාව නෙරපීමට එකට එක කිරීමක් ලෙස ඉන්දියාව ද අද කැනඩා තානාපති නිලධාරියෙක් ව සිය රටින් නෙරපීය.