ශ්‍රී ලංකාවට සුබ පණිවුඩයක් - කච්චතිව් ශ්‍රී ලංකාවට අයත් බව ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පිළිගනී
කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ 1974 සහ 1976 වසරවලදී ඇති කරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
ඉන්දීය රජය වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටි නීතිපති ආර්. වෙන්කටරාමනී මහතා සඳහන් කර ඇත්තේ, ඉන්දීය ධීවරයන් සම්බන්ධ ගැටලු දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ විසඳා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවට තම ස්ථාවරය පිළිගැනීමට හෝ ඒ අනුව කටයුතු කිරීමට බල කිරීමට ඉන්දියාවට හැකියාවක් නොමැති බවද ඔහු පවසා තිබේ.
කච්චතිව් සම්බන්ධයෙන් 1974දී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති කරගත් ගිවිසුම මෙන්ම, ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ඉන්දීය ධීවරයන්ගේ ධීවර අයිතිවාසිකම් සීමා කරමින් 1976දී ඇති කරගත් ගිවිසුම අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන සංජේ කුමාර් සහ සංජීව් සච්දේවා මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම කරුණු ඉදිරිපත් කර ඇත. ඉන්දීය ධීවරයන් විසින් ජාත්‍යන්තර මුහුදු සීමාව නැවත නැවතත් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන්ද ඉන්දීය රජය එහිදී අවධානය යොමු කර තිබේ.
ඉන්දීය පාර්ශ්වයේ මත්ස්‍ය සම්පත් අඩුවීම හේතුවෙන් තමිල්නාඩු ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීමේ තත්ත්වයක් ඇති වී තිබෙන බව නීතිපතිවරයා පෙන්වා දී ඇත.
එමෙන්ම ධීවරයන් ජාත්‍යන්තර මුහුදු සීමාව හරහා ගමන් කිරීමෙන් වැළකී සිටීම සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කිරීමේ අවශ්‍යතාවද ඔහු අවධාරණය කර තිබේ.
මේ අතර, මෙම නඩු විභාගයේදී 1974 සහ 1976 ගිවිසුම්වල ව්‍යවස්ථාමය හෝ නීතිමය වලංගුභාවය පිළිබඳව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කිසිදු තීන්දුවක් ලබාදී නොමැත.
A.K. Selvaraj එරෙහිව ඉන්දීය සංගමය'' යන නඩුවේ පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ පී. විල්සන් මහතා තර්ක කර ඇත්තේ 1974 ගිවිසුම මගින් භූමියක් වෙනත් රටකට පවරා ඇති බැවින්, ඒ සඳහා ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු උපලේඛනය සංශෝධනය කිරීම අවශ්‍ය බවයි.
2008 වසරේ සිට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට නියමිතව පවතින මෙම පෙත්සම් මගින් කච්චතිව් දූපත පැවරීම මෙන්ම 1976 ගිවිසුම යටතේ හඳුන්වා දුන් ධීවර සීමාද අභියෝගයට ලක්කර තිබේ. මෙම නඩුවේ වැඩිදුර විභාගය 2027 පෙබරවාරි මාසයේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.