රටේ ඉදිරි දිශානතිය තීරණය කරන 2027 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා විසින් එම විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.
ඒ අනුව, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් 2027 අයවැය කථාව නොවැම්බර් 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
එදිනම විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම සිදුකෙරෙන අතර, නොවැම්බර් 13 වැනිදා සිට 20 වැනිදා දක්වා දින හතක් දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය.
එම විවාදයෙන් අනතුරුව දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 20 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතව තිබේ.
අනතුරුව අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 21 වැනිදා සිට දෙසැම්බර් 14 වැනිදා දක්වා දින 19ක් පැවැත්වේ.
2027 අයවැයේ තෙවැනිවර කියවීමේ අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිත අතර, එම ඡන්ද විමසීමෙන් 2027 අයවැයේ පාර්ලිමේන්තු ක්‍රියාවලිය අවසන් වීමට නියමිතය.
අයවැය විවාද පැවැත්වෙන කාලසීමාව තුළ ඉරිදා සහ රජයේ නිවාඩු දින හැර සෙනසුරාදා දිනවලදීද පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ.
මේ අතර, දෙවැනිවර කියවීමේ විවාදය සඳහා ආණ්ඩු පක්ෂයට සියයට 60කත්, විපක්ෂයට සියයට 40කත් විවාද කාලයක් වෙන්කර තිබේ. කාරක සභා අවස්ථාවේදී එම විවාද කාලය ආණ්ඩු පක්ෂයට සියයට 40ක් සහ විපක්ෂයට සියයට 60ක් ලෙස වෙන්කර ඇති බව පාර්ලිමේන්තුව සඳහන් කරයි.