ඇඹිලිපිටිය ඇතුලු ප්‍රදේශ කිහිපයක ජනතාවට විශේෂ දැනුම් දීමක්.

Covid Embilipitiya Rathnapura Covid risk Embilipitiya hospital
By Aruna Aug 06, 2021 04:13 AM GMT
Aruna

Aruna

Report

ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ කටයුතු අත්‍යවශ්‍ය හදිසි ප්‍රතිකාර සේවා සඳහා පමණක් සීමා කර තිබෙනවා.

රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය සමන්තා රාමචන්ද්‍ර සඳහන් කළේ, රෝහල් කාර්ය මණ්ඩලයේ 14 දෙනෙකු ආසාදිතයන් බවට හඳුනාගැනීම නිසා මෙම තත්වය උද්ගතවී ඇති බවයි.

ඒ හේතුවෙන් රෝහල තුළ පෙර සැළසුම් කරන ලද සැත්කම් හා පරීක්ෂණ තාවකාලිකව අත්හිටුවීමටත්, සායන සඳහා පැමිණෙන රෝගීන්ට ඖෂධ තැපෑලෙන් ලබාදීමටත් අවශ්‍ය පියවර ගෙන ඇති බවයි ඇය කියා සිටියේ.

එමෙන්ම ප්‍රදේශවාසීන්ට අවට ඇති අනෙකුත් ප්‍රාදේශීය රෝහල් වෙත ප්‍රතිකාර සඳහා යන ලෙස ඇඹිලිපිටිය නගර සභාව හරහා මහජනතාව දැනුවත් කිරීමටද ඊයේ පියවර ගනු ලැබුවා.

කොරෝනා රෝගීන් ඉහළ යෑම හමුවේ කරාපිටිය, රත්නපුර, කළුබෝවිල, රිජ්වේ ආර්යා ළමා රෝහල ඇතුළු රෝහල් ගණනාවක ධාරිතාව මේ වනවිටත් ඉක්මවා ගොස් අවසන්.

එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ලබන සඳුදා සිට බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කළ රෝග ලක්ෂණ නොමැති ආසාදිතයන් වෛද්‍ය අධීක්ෂණය යටතේ නිවෙස්වල සිට රැක බලා ගැනීමේ වැඩසටහන දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කළා.

මේ අතර, මෙරට යළි හිස ඔසවා ඇති කොරෝනා ව්‍යාප්තිය හමුවේ ඇතැම් පුද්ගලයින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන තත්ත්වයක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය කියා සිටියා.

එමෙන්ම රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කළ රෝගියෙකු අතුරුදන් වීමේ සිද්ධියක් කඩවත ප්‍රදේශයෙන් වාර්තා වුණා.

පසුගිය 25 වන දා අදාළ 66 හැවිරිදි මෙම පුද්ගලයා රෝහල් ගත කර ඇති අතර ඊට දින 2කට පසුව සිදුකළ කොරෝනා පරීක්ෂණයෙන් ඔහු ආසාදිතයෙකු බවට හඳුනා ගත් බවයි පවුලේ ඥාතීන් ප්‍රකාශ කළේ.

එහෙත් රෝහල්ගතව සිටි ඔහු පසුගිය 29 වන බ්‍රහස්පතින්දා සිට අතුරුදන්ව ඇති බවට පොලීසිය මගින් දැනුවත් කළ බවයි අතුරුදන් බවට පැවසෙන පුද්ගලයාගේ දියණිය කියා සිටියේ.

මේ අතර, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේ සේවකයින් කිහිප දෙනෙකු කොරෝනා ආසාදිත බවට තහවුරු වීම හේතුවෙන් සාමාන්‍ය සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර ලබාදීම තාවකාලිකව අත්හිටුවනු ලැබුවා.

අත්‍යාවශ්‍ය සේවා අවශ්‍යතා ඇති සේවාලාභීන් සඳහා පමණක් එක්දින සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සිදුකෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now