IMF නිසා ලංකා මහ බැංකුව වෙනස් වූ හැටි..

Central Bank of Sri Lanka Sri Lanka IMF Sri Lanka
By Sithumi Feb 25, 2023 02:40 PM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකා මහ බැංකුවට පරිපාලනමය සහ මූල්‍යමය ස්වාධීනත්වය ලබාදෙන්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිදුකළ යෝජනාවට අනුව ඊට අදාළ පනත් කෙටුම්පතක් මේ වනවිට රජය විසින් ගැසට් කර තිබෙනවා

. ශ්‍රී ලංකා මහ බැංකුවට පරිපාලනමය සහ මූල්‍යමය ස්වාධීනත්වය ලබාදීමටයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපේක්ෂා කරනු ලබන අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය මුදල ලබාගැනීම සඳහා ඉටු කළ යුතු කොන්දේසි අතර එක් කොන්දේසියක් වූයේ.

ඒ අනුව මහ බැංකුව තුළ ''පාලක මණ්ඩලය සහ ''මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය'' ලෙස මණ්ඩල 02ක් ස්ථාපිත කිරීමට යෝජනා කර තිබෙනවා. එමෙන්ම  මහ බැංකු අධිපතිවරයා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට සහ මහ බැංකුවේ සේවා නියුක්තිකයින්ට ඔවුන්ගේ බලතල, කාර්යය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේදී, ඉටු කිරීමේදී සහ සිදුකිරීමේදී කවර හෝ තැනැත්තෙකු හෝ ආයතනයක් විසින් බලපෑමක් කිරීම නොකළ යුතු බවට වගන්තියක්ද ඊට ඇතුළත් වනවා. ''

පාලක මණ්ඩලය'' ලෙස නව ව්‍යුහයක් මහ බැංකුවට අයත් වන අතර මහ බැංකුවේ කටයුතුවල පරිපාලනය සහ කළමනාකරණය අධීක්ෂණය කිරීම සහ මුදල් ප්‍රතිපත්තිය නොවන මහ බැංකුවේ පොදු ප්‍රතිපත්තිය තීරණය කිරීමේ වගකීම ඊට පවරා තිබෙනවා.

එය සාමාජිකයින් 7 දෙනෙකුගෙන් සමන්විත වන අතර පාලක මණ්ඩලයේ සභාපති ලෙස මහ බැංකු අධිපතිවරයා කටයුතු කරන අතර ආර්ථික විද්‍යාව, බැංකුකරණය, මූල්‍ය, ගිණුම්කරණය සහ විගණනය, නීතිය හෝ අවදානම් කළමනාකරණය පිළිබඳ විශේෂඥ දැනුම සහිත සාමාජිකයින් 6 දෙනෙකු එහි සෙසු සාමාජිකයන් වෙනවා. එමෙන්ම දැනට මහ බැංකුවේ ක්‍රියාත්මක මුදල් මණ්ඩලය වෙනුවට මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ස්ථාපිත කිරීමට යෝජිත වනවා.

මහ බැංකු අධිපතිවරයා එහි සභාපති වන අතර ඊට අමතරව පාලක මණ්ඩලයේ සාමාජිකයින් 07දෙනා, ආර්ථික විද්‍යාව හෝ මූල්‍ය යන ක්ෂේත්‍රයක විශේෂඥයින් දෙදෙනෙක්, මිල ස්ථායීතාව භාර මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයා සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව භාර මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයාත් මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ සාමාජිකයින් වෙයි. දැනට පවතින මුදල් මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා නිල බලයෙන් පත්වුවද නව කෙටුම්පතින් මුදල් ලේකම්වරයා එම මණ්ඩලයට පත් කර නොමැත.

පාලක මණ්ඩලයේ සහ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ සාමාජිකයින් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබාගත යුතුය. මහ බැංකුව විසින් ළඟා කරගත යුතු උද්ධමන ඉලක්කය සපුරාලීමට මහ බැංකුව අනුක්‍රමික කාර්තු දෙකකදී අපොහොසත් වුවහොත් මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් ඊට අදාළ හේතු, ප්‍රතිකර්මීය ක්‍රියාමාර්ග දක්වමින් වාර්තාවක් අමාත්‍යවරයා මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවද පනත් කෙටුම්පතේ සඳහන් වෙයි.