T20 ලෝක කුසලානය ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කිරීම නිල වශයෙන් ඇරඹෙයි - මේ අයට රන් කුසලානය බලා ගන්නත් අවස්ථාවක්
2026 වසරේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව විසින් සම-සත්කාරකත්වය දරනු ලබන ICC පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කුසලානය මෙරට ප්‍රදර්ශනය කරමින්, කරනු ලබන සංචාරය නිල ලෙස ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) දින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුව ඇත.
ඒ අනුව අද සිට 24 දක්වා දින හතරක් දිවයිනේ ප්‍රධාන නගර කිහිපයකදී මෙය ප්‍රදර්ශනය කෙරේ. එමෙන්ම කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා– එංගලන්ත එක්දින තරගය අතරතුරදී ක්‍රීඩා ලෝලීන්ට මෙම රන් කුසලානය සමීපව දැක බලා ගැනීමටත් අවස්ථාව හිමි වන බව සඳහන්.
පසුව මහනුවර, දඹුල්ල සහ යාපනය යන නගර කරා ද කුසලානය රැගෙන යාමට සැලසුම් කර තිබෙන අතර, එම ප්‍රදේශවල වෙසෙන ක්‍රීඩා ලෝලීන්ටද ලෝක කුසලානය සමඟ සමරු ඡායාරූප ලබා ගැනීමට සහ එය දැකබලා ගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා.
මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වන්නේ ලෝක කුසලාන තරගාවලියක් මෙරට පැවැත්වීමට පෙර ඒ සඳහා උද්‍යෝගය සහ ප්‍රේක්ෂක අවධානය ඉහළ නැංවීමයි. එමෙන්ම ICC පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම-සත්කාරකත්වයෙන් පෙබරවාරි 07 වන දා සිට මාර්තු 08 වන දා තෙක් පැවැත්වීමට නියමිතව ඇත.
තවද 2012 වසරේ පවත් වන ලද පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරන දැවැන්තම තරගාවලිය වන්නේ මෙම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වීමද විශේෂත්වයක්.
මේ අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කාල සටහන එළිදැක්වීම පසුගිය 2025 වසරේ නොවැම්බර් 25 වන දින ඉන්දියාවේදී සිදු විය.
එහිදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) මඟින් ශ්‍රී ලංකාවේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ වශයෙන්, කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය සහ කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණය තෝරා ගෙන ඇත.
එබැවින් කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තරග 8ක්ද, කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ තරග 5ක්ද, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාගංණයේ තරග 7ක්ද ලෙස පැවැත්වීමට නියමිතයි. එසේම මෙවර තරගාවලියට රටවල් 20ක් සහභාගි වීමට නියමිතයි.
මෙම තරගාවලියේ තරග 20ක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත අතර, එහිදී පාකිස්තානු කණ්ඩායම සහභාගි වන සියලුම තරග ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනු ඇති බව ද වාර්තා වේ.
අවසන් පූර්ව සහ අවසන් මහා තරග වෙනුවෙන් සහභාගි වීමට පාකිස්තානු කණ්ඩායම වරම් ලදහොත් එම තරග දෙකේ සත්කාරකත්වයද ශ්‍රී ලංකාව මඟින් දරනු ලැබීමද විශේෂත්වයක් වේ. එසේ වුවහොත් අවසන් මහා තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, එවිට ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත තරග සංඛ්‍යාව 22 දක්වා ඉහළ යනු ඇති බව සඳහන්.
මේ අතර සත්කාරක රටවල් ලෙස ශ්‍රී ලංකාව සහ ඉන්දියාව හැරුණු කොට එංගලන්තය, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, පාකිස්තානය, බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශය, අයර්ලන්තය, සිම්බාබ්වේ සහ ඇෆ්ගනිස්තානය යන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් මෙවර තරගාවලිය නියෝජනය කරයි.
ඊට අමතරව ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ඉතාලිය, නෙදර්ලන්තය, නැමීබියාව, නේපාලය, ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයද මෙවර තරගාවලියට දායකත්වය දක්වන සෙසු රටවල් ලෙස දැක්වේ. 2026 වසර ආරම්භයේදී මෙරට පැවැත්වෙන මෙම පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය, රටේ ආර්ථිකයට, සංචාරක කර්මාන්තයට, ක්‍රීඩා සංවර්ධනයට, ජාත්‍යන්තර වශයෙන් ප්‍රචාරණයට සහ සමාජය පිළිබඳ ඵලදායී වටිනාකමක් ලබා දීමට හැකි වන විශිෂ්ට අවස්ථාවක් වශයෙන් සැලකේ.
විශේෂයෙන්, විදේශීය සංචාරකයින් ඇතුළු කණ්ඩායම්, මාධ්‍ය කණ්ඩායම් සහ දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයින් ශ්‍රී ලංකාවට පැමිණීමෙන් විශාල විදේශ විනිමය ආදායමක් රටට හිමිවනු ඇත. තවද හෝටල් සහ ආහාර-පාන ව්‍යාපාර, ප්‍රවාහන සේවා, තාක්ෂණික සහ වැඩබලන සේවා ඇතුළු විවිධ ක්ෂේත්‍රවල කෙටි සහ දිගු කාලීන රැකියා අවස්ථා උදා වනු ඇති බවටද අපේක්ෂා කෙරෙන බව සඳහන්.
මෙරට සංචාරක ගමනාන්තයක් වශයෙන් ලෝකය හඳුනා ගැනීමත් සමඟ එමඟින් නව ආයෝජන අවස්ථා හිමි වීම මෙන්ම ශ්‍රී ලංකාව වසරේ සෑම මාසයකදීම ක්‍රීඩා සංචාරක කේන්ද්‍රස්ථානයක් වශයෙන් හඳුනා ගැනීමත්, ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාවේ කීර්තිනාමය ප්‍රචලිත වීම වැනි දිගුකාලීන ප්‍රතිලාභ මෙම තරගාවලියට ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය ලබා දීම ඔස්සේ හිමි වේ.