ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩි වූ ගමන්ම බෙහෙත් ගන්න ඕනද..?;කොලෙස්ටරෝල් ගැන හරියටම දැනගෙන ජීවිතය රැක ගනිමු..!
කොලෙස්ටරෝල් යනු ශරීරයට අත්‍යවශ්‍ය වූ මේද වර්ගයකි. අප ගන්නා ආහාර මගින් මෙන්ම අපගේ සිරර තුළද කොලෙස්ටරෝල් නිෂ්පාදනය වේ. එහෙත් කොලෙස්ටරෝල් ප්‍රමාණය අධික වූ විට ඒවා රුධිර නාලවල තැන්පත් වේ. එවිට රුධිර නාල සිහින් වෙයි.
එසේ සිහින් වූ රුධිර නාල මගින් ශරීරයේ අවයවවලට සැපයෙන රුධිර ප්‍රමාණය අඩුවේ. සිහින් වූ රුධිර නාලයක ලේ කැටියක් තැන්පත් වුවහොත් ඒ අවයවයට රුධිරය ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිටින්නට පුළුවන. හෘදයට රුධිරය සැපයෙන නාලයක ඒ ආකාරයෙන් සිදුවූ විට හෘදයාබාධයක් ඇති වේ.
මෙසේ මොළයට රුධිරය සපයන නාලයක් තුළ රුධිර කැටියක් සිර වුවහොත් මොළයට රුධිර සැපයුම අඩාල වීමෙන් අංශභාගය හෙවත් ආඝාතය ඇතිවේ. පාදයකට රුධිර සපයන නාලයක එවැනි අවහිර වීමක් සිදු වුවහොත් පාදයේ සුව නොවන තුවාල ඇති වී ඇතැම් විට කකුල කපා දැමීමට පවා සිදුවේ.
එනම් එච්.ඩී.එල් (HDL), එල්.ඩී.එල් (LDL), වී.එල්.ඩී.එල්. (VLDL) සහ ට්‍රයිග්ලිසරොයිඩ වේ. මේ අතරින් එච්.ඩී.එල් යනු ශරීරයට හිතකර ලිපිඩ වර්ගයකි. එල්.ඩී.එල්, වී.එල්.ඩී.එල් සහ ට්‍රයිග්ලිසරොයිඩ වැනි ලිපිඩ වැඩි වී ඒවා රුධිර නාලවල තැන්පත් වීමෙන් රුධිර නාල සිහින් වී හදිසි හෘදයාබාධ, ආඝාත වැනි රෝග තත්ත්ව ඇති විය හැකිය.
කෙනෙකුගේ සිරුරෙහි කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි වූ පමණින්ම ඖෂධ ලබාදිය යුතු නැත. ප්‍රතිකාර කළ යුතුද යන්න තීරණය කරන්නේ රුධිර නාල සම්බන්ධ රෝග ඇතිවීමට ඇති අවදානම ගැන සලකා බලාය. යමකුට හෘදයාබාධ හා ආඝාත සෑදීමට හේතුවන කාරණා කිහිපයකි.
ඒවා වන්නේ කොලෙස්ටරෝල් අධික වීම, අධික රුධිර පීඩනය, දුම් ඉරීම, මත්පැන්, දියවැඩියාව, අධි බර, ජානමය හේතු පිරිමියකු වීම මෙන්ම කාන්තාවන් ආර්ථවහරණයෙන් පසු හෘදයාබාධ අවදානම වැඩි වේ. වයස්ගත වීමත් සමඟද හෘදයාබාධ සඳහා වන අවදානම ඉහළ යයි. කොලෙස්ටරෝල් මට්ටම ඉහළ අගයක් සහිත ඉහත පුද්ගලයන්ට ඖෂධ ලබාදීමට වෛද්‍යවරු තීරණය කරති.
හෘදයාබාධ පිළිබඳ නිවැරදිව තක්සේරු කිරීම සඳහා ලොව පිළිගත් වගු ලෝක සෞඛ්‍ය සංවිධානය සහ අමෙරිකා හෘදරෝග සංගමය වැනි ආයතන මගින් නිකුත් කොට ඇති අතර, වෛද්‍යවරැ ඒ අනුව යමින් යමකු ගේ හෘදයාබාධයක ඇති අවදානම් තත්ත්වය තක්සේරු කරති. යම් පුද්ගලයකුගේ ජීවිත කාලයේ ඉදිරි අවුරුදු 10ක් ඇතුළත ඔහුට හෝ ඇයට හෘදයාබාධයක් ඇතිවීමට ඇති හැකියාව 20%ට වඩා වැඩි නම් වෛද්‍යවරයා එවැන්නෙකුට ඖෂධ නියම කරනු ඇත.
ප්‍රතිකාර මෙන්ම ජීවන රටාව වෙනස් කර ගැනීම ද අත්‍යවශ්‍ය වේ. කොලොස්ටරෝල් අධික ආහාර ගැනීම අඩු කළ යුතුය. කොලෙස්ටරෝල් ශරීරයේ තැන්පත් වීමට තුඩුදෙන සංතෘප්ත මේදය අඩංගු ආහාර ගැනීමෙන් වැළකිය යුතුය. එමෙන්ම රතු මස් සිරැරෙහි කොලෙස්ටරෝල් හැදීමට සෘජුවම උපකාරී වේ. බටර්, චීස්, බිත්තර කහමද, තෙල් සහිත රතු මස් වර්ග හා සත්ත්ව තෙල්වල සංතෘප්ත මේදය බහුලය.
පොල්තෙල් ශාඛමය තෙල් වර්ගයක් වුවද එහි සංතෘප්ත මේදය අධිකව ඇති හෙයින් පොල්තෙල් භාවිතය අවම කළ යුතුය. සුරියකාන්ත, තල සහ ඔලිව් තෙල්වල අසංතෘප්ත මේදය හෙවත් හිතකර මේද බහුලව ඇති හෙයින් ඒවා හදවතේ සුවයට හිතකර වේ. මේ අතරින් ඔලිව් තෙල් ඉතාම හිතකර වේ. මාංශමය තෙල් වර්ගයක් වුවද මාළු තෙල්ද හදවතේ සුවයට හිතකරවේ. මාළු තෙල් සිරැරෙහි කොලොස්ටරෝල් මට්ටම පහළ දමයි.
එහෙයින් මාළු තෙල් ඖෂධයක් ලෙස ද නිපදවා තිබේ. කොලෙස්ටරෝල් පාලනයට දෙනු ලබන ඖෂධ පිළිබඳ වසර ගණනාවක් පුරා කරන ලද පර් යේෂණවලින් සොයගනු ලැබ ඇත්තේ ඖෂධ දිගු කාලීනව ලබා ගැනීමෙන් හෘදයාබාධ, ආඝාත හා මරණයට පත්වීම අඩුවන බවයි. කොලෙස්ටරෝල් පාලනයට වැඩිපුර භාවිතා කරන්නේ ස්ටැටින් වර්ගයේ ඖෂධය. ස්ටැටින් වර්ගයේ ඖෂධ දිනකට එක්වරක් පමණක් ගන්නා ඖෂධ වේ.
තමන් ගන්නා ඖෂධ වර්ගයේ නම සහ තමාට දෙනු ලබන මාත්‍රාව නිවැරදිව දැන සිටීම වැදගත්ය. මාළු තෙල් කොලෙස්ටරෝල් පාලනයට සුදුසු වන හෙයින් ඇතැම් විට රෝගීන්ට මාළු තෙල් අඩංගු කැප්සියුල ද නිර්දේශ කරනු ලැබේ. ස්ටැටින් වර්ගයේ ඖෂධවල අතුරුආබාධ ඉතා අඩුය. ඇතැම් විට මස් පිඬුවල වේදනාව, හෝ ඉදිමීම කලාතුරකින් සිදුවිය හැකිය. එවැනි ලක්ෂණ පහළ වුවහොත් වෛද්‍යවරයාට පැවසිය යුතු ය.
එම රෝග ලක්ෂණවලට හේතුව රුධිර පරීක්ෂණයකින් දැනගැනීමට පුළුවන. එසේ වුවහොත් ඒ වෙනුවට වෙනත් ඖෂධ ලබාදීම හෝ මාත්‍රාව අඩු කිරීමට වෛද්‍යවරයා නියම කරනු ඇත. ස්ටැටින් ඖෂධ භාවිතා කිරීම නිසා අක්මාවට සුළු බලපෑමක් ඇතිවිය හැකි හෙයින් මේවා භාවිතා කරන විට අක්මාව පිළිබඳ නිතර සොයා බැලිය යුතුය. ඒ සඳහා වෛද්‍යවරයා විසින් නියම කරනු ලබන වෛද්‍ය පරීක්ෂණ කලට වෙලාවට සිදු කොට වාර්තා වෛද්‍යවරයාට පෙන්විය යුතුය.
ඖෂධ ඇරඹු මුල් කාලයේ අක්මාවට සුළු බලපෑමක් ඇතිවුවත් ස්ටැටින් ඖෂධය දිගටම ගන්නා විට යළිත් අක්මාවේ ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත්වන බව අලුත්ම වෛද්‍ය පර් යේෂණවලින් හඳුනාගෙන තිබේ. ලේ කැටි ගැසීම අඩු කිරීමට සුදුසු ඖෂධයක්ද කොලෙස්ටරෝල් අධික රෝගීන්ට ලබාදේ. එම ඖෂධ දෙනු ලබන්නේ හෘදයාබාධ සහ ආඝාතය හට ගැනීමට ඇති අවදානම අඩු කරනු සඳහාය.
ඒ සඳහා බොහෝ විට ඇස්ප්‍රින් ඖෂධය අඩු මාත්‍රාවක් ලබාදෙනු ඇත. ඇස්ප්‍රීන් ඖෂධය වේදනා නාශකයක්ද වේ. වේදනා නාශක ක්‍රියවලිය සඳහා ඇස්ප්‍රීන් මිලි ග්‍රෑම් 600ක් අවශ්‍ය වන අතර රුධිර කැටි ගැසීම වැළැක්වීම සඳහා දෙනු ලබන මාත්‍රාව මිලිග්‍රෑම් 70/150ත් අතර වේ. ඇස්ප්‍රීන් ඖෂධය භාවිතා කළ යුත්තේ උදේ කෑමෙන් පසුවය. එමගින් බඩවැල් තුළ ඇතිවන දැවිල්ල හා ගැස්ට්‍රයිටිස් තත්ත්වය පාලනය කළ හැකිය.
ඇස්ප්‍රින් ඖෂධය ගන්නා අයකු වේදනා නාශකයක් ලෙස පැරසිටමෝල් ගැනීම වඩා සුදුසුය. ඇස්ප්‍රින් මාත්‍රාව අධික වුවහොත් එමගින් රුධිර කැටි ගැසීමේ ක්‍රියාවලිය අඩුවීමට ඉඩ තිබේ. එහෙයින් ඇස්ප්‍රින් ගන්නා අයකුට වේදනා නාශකයක් ලෙස වඩා සුදුසු වන්නේ පැරසිටමෝල්ය. හෘදයාබාධයකින් පෙළෙන අයට ලබාදෙන ඖෂධයකි ග්ලිසරිල් ට්‍රයි නයිට්ට්‍රෙට් හෙවත් ජී.එන්.ටී. පෙති. මෙම ඖෂධ දිව යට තබා ගත යුතුය.
හෘද රෝගීන් ළඟ නිතර තබාගත යුතු ඒ ඖෂධය පිළිබඳව රෝගියා දැනුවත්ව සිටීම වැදගත්ය. හෘද රෝගියකුට පපුවේ වේදනාවක් දැනුණු විට වහාම දිව යට තබාගැනීමට මෙම ඖෂධය නිතර ළඟ තබාගත යුතුය. එසේත් අඩුනොවේ නම් පෙති 3 හෝ 4ක් වනතුරු දිව යට තබා හැකිය. එවිට ද වේදනාව අඩු නොවේ නම් වහාම රෝහල කරා යුතුය.
මේ ඖෂධයේ අතුරු ආබාධ වන්නේ දහදිය දමා, මුහුණ සුදුමැලි වී ක්ලාන්ත ගතියක් හෝ තද හිසරදයක් ඇතිවීමයි. එසේ වන්නේ මොළයේ රුධිර නාල ප්‍රසාරණය වීමෙනි. ඒ හිසරදය ටික වේලාවකින් ඉබේම පහව යයි. පෙත්ත දිව යට තබාගෙන සිටින විට වේදනාව වැඩි නම් පෙත්තේ ඉතිරි කොටස ඉවත දැමිය යුතුය. හිසරදය අධික නම් පැරසිටමෝල් පෙති දෙකක් ගත්තාට කමක් නැත. ජී.එන්.ටී ඖෂධ ගබඩා කිරීමේදී විශේෂයෙන් සැලකිලිමත් විය යුතු වන්නේ එය ඉක්මණින් දියවන අස්ථාවර පෙත්තක් වන හෙයිනි. හැම විටම දුඹුරු පැහැති හොඳින් කට වැසෙන බෝතලයක අසුරා තැබිය යුතුය.
පළමුව බෝතලය විවෘත කොට සති අටකින් පසු ඒවායෙහි බලය ක්‍රමයෙන් හීනවෙයි. එවිට පෙති ඉවත ලා අලුතින් පෙති ලබාගත යුතුය. හෘද රෝගීන් මේ පෙති තමන් යන සෑම ස්ථානයකටම රැගෙන යෑම වැදගත්ය. බෙහෙත් පෙති කඩදාසි කොළවල හෝ ඉටිකොළවල එතීම සුදුසු නැත. (උපුටා ගනීම - අන්තර්ජාලයෙන්)
…………………………………………………………………………………………………
You may like this video 👇